Monday, September 23, 2024

අද්භූත වූ මරණයේ දේශය -ඔකිගහරා


නවීන විද්‍යාව කෙතෙක් දියුණු වුවද , නවීන විද්‍යාවෙන් හෝ තාක්ෂණයෙන් හෙළි නොවන රහස් ලෝකයේ අනන්තවත් පවතී.ජපානයේ ඔකිගහරා වනාන්තරයද තවත් එවැනි ස්ථානයකි.

මෙහි ප්‍රධාන චරිත වන්නේ සෙලිනා, තිසල් රිශාරයි. මොවුන් ජපානයේ උසස් අධ්‍යාපනය ලැබීමට ජපානයට යන අතර සෙලිනා තරමක ගුප්ත ස්වභාවයකින් යුතු තරුණියකි.නිතරම කල්පනාබරව සිටින ඇය ඔකිගහරා වනය පිලිබඳ දක්වන්නේ අසීමිත කුතුහලයකි. එය අනික් මිතුරන්ට ගැටළුවක් වුනත් ඔවුන් මිතුරන්ව එකිනෙකාට සවියක් වේ.

විශ්ව විද්‍යාලයේ පර්යේෂණ ක්‍රියාකාරකම සඳහා ඔකිගහරා වනය පිළිබඳව චිත්‍රපටයක් සෑදීමට මොවුන් තීරණය කරන අතර මොවුන් ඒ සඳහා පිටත් වන්නේ දහසක් බලාපොරොත්තු හිතේ දල්වාගෙනය. 

මෙම ගමනේදී සිදුවන විශේෂම සිදුවීම වන්නේ වනාන්තරයේදී ඔවුන්ට හම්බුවන නිසලිගේ දින පොතයි. එය සෙලිනා රැගෙන එන අතර එය කියවීමට ඇරඹි දින පටන් ඇය මුහුණ දෙන මානසික ඝට්ටනයන් අපුරු ලෙස ලේඛිකාව විසින් පාඨක මනසට යොමු කොට ඇත.

ඇය මනෝ විකාර ලෙස දකින දේ සත්‍ය ජිවිතයට ග්‍රහණය කර කතා රසය මැවීමට ලේඛිකාව ගත් උත්සාහය සාර්ථකය. වනය පිලිබඳ මනා ගවේෂණයකින් යුතුව මෙම කෘතිය රචනා කර ඇති අතර පාඨක සිතේ චිත්ත රුප මවමින් එහි භයංකරත්වය ,ත්‍රාසය ග්‍රහණය කරමින් කෘතිය රචනා කර ඇත.

නිසලිගේ සිතේ ඇති දුර්වල භාවය නිසාවෙන්ම මිත්‍යා විශ්වාස කෙරෙහි වූ නැඹුරුව වැඩිවීම සිදුවන්නට ඇති ප්‍රතිශතය වැඩිය. ඒ සමගම පෙම්වතාගෙන් වෙන්වීම , නොදන්නා දේශයක හුදකලා වීමට සිදුවීම වැනි කරුණු ඇයව තව තවත් දුර්වලවීමට හේතු පාදක විය හැකිය.

ප්‍රේමය සහ විරහව එක්තැන්වූ තැන මිනිස් චෛතසිකයන්ගේ ඇති වන ඝට්ටනයන් පිළිබඳව අගනා විග්‍රහයක් මේ ඔස්සේ විඳිය හැකිය.

තිසල් ගේ සිතේ නිසලි පිලිබඳ ඇතිවන මතකාවර්ජනයන්  කතාව අතරතුර දි අපිට දැකිය හැකිය. 

 සමහර දුෂ්කර අවස්තාවන් වලදී අකමැත්තෙන් වුවත්,   බැඳීම් වලට අපි සිනහවෙන්  සමුදුන්නත්  ඒ මතකයන් කරපින්නාගෙන එක් අප සදාකාලික රෝගියකු වීමේ සම්භාවිතාවක්ද ඇත. එය දෙදෙනාගෙන් එක් අයකුට සිදුවන විසල් අසාධාරණයකි. මන්ද විඳවන්නෙ එක් අයකු පමණක් වෙන හෙයිනි.

 ඔකිගහරාව ගස් මුහුද  ලෙසද හඳුන්වන අතර ජපානයේ ෆූජී කන්ද පාමුල පිහිටා ඇති විවිධ මිත්‍යාවන් සහ ජනප්‍රවාද සමග සම්බන්ධ වූ වනාන්තරයකි.  මරණයේ වනාන්තරය ලෙස නම් වුන ඔකිගහරාව ආත්මයට සාමයක් නොලද මළවුන්ගේ ආත්මයන්ට අධිපති දේවතාවිය වූ යුරීගේ නිවහන ලෙසද හැඳින්වේ. 

මෙම වනයට පැමිණෙන අමුත්තන් දුක්ඛිත සහ මානසික අවපීඩනයන්ට යුරී දෙවඟන විසින් ඇද දමා සියදිවි නසා ගැනීමට පොළඹවන බව එක් විශ්වාසයකි. මන්ද ඇය ඔකිගහරාවට  අධිපති ආරක්ෂකයා වන බැවිනි.

වනයට ඇතුල් වූ පසු ජංගම දුරකතන, ඔරලෝසු වල ක්‍රියාකාරීත්වය නැතිවන බව කියයි.එයට හේතුව වන්නෙ වනාන්තරය සැදී ඇති ලාවා පාෂාණයට ප්‍රබල චුම්භක බලයක් ඇති අතර යකඩ ප්‍රමාණයෙන් සහ එක් එක් ස්ථාන අබුව ශක්තිය වෙනස් වේ.

පොසිකා විසින් සමුරායිවරුන්ගේ චාරිත්‍ර විධි පිලිබඳ සඳහන් කර ඇති කොටස් විස්තරාත්මකය.පොත කියවීමට මනා පෙළඹීමක් ඇති කරයි.

මිනිස් චෛතිසකයේ ඇතිවන ඝට්ටනයන් මෙන්ම අඳුරු සිතුවිලි මැනවින් මේ ඔස්සේ පිළිඹිබු වේ.වනාන්තරයේ ඉතිහාසය අනුව,මෙම නවකතාව ජීවිතය, මරණය සහ මිනිස් හැඟීම් කෙරෙහි ස්වභාවධර්මය බලපාන අකාරය පිළිබඳ දාර්ශනික, ආඛ්‍යානයක් ඉදිරිපත් කරන බව අනුමාන කළ හැකිය.

ජීවිතය, මරණය සහ මනසෙහි අඳුරුතම අවපාතවල පැටලී ඇති මොවුන්ගේ ජිවිත ගැන රුපකයක් ලෙස ඔකිගහරා වනය පෙන්වා දී ඇත.

එලෙසම ජපානයේ පාරම්පරිකව පැවත එන අභිචාර ක්‍රම මිත්‍යාවන් සේම ජනප්‍රවාද ද පාඨක සිතේ කුතුහලය වැඩිවන ලෙස තව තවත් සෙවීමේ පිපාසාව ඇතිවන ලෙස පන්හිදට නංවා ඇති ආකාරය අගනේය.

මෙම නවකතාව ස්වභාවධර්මයේ සන්සුන් සුන්දරත්වය මිනිස් ආත්මය තුළ ඇති වියවුල් සමඟ සමපාත කරමින් එහි චරිතවල අභ්‍යන්තරයේ ඇතිවන ගැටුම් වල පාඨකයන් ගිල්වනු ඇත. 

අත්භූත බියකරු දේ පසුපස අනවශ්‍ය ලෙස හඹා යාම නිසා ඇතිවන ගැටළු මිනිස් ජිවිත වලට අන්තරායකාරී ලෙස බලපාන අකාරය මෙහි මැනවින්  විග්‍රහයට බඳුන් කර ඇත.

ඔකිගහරා වානාන්තරය  නිශ්ශබ්දව නිරීක්ෂකයෙකු ලෙස ක්‍රියා කරයි.  හුදකලාව සහ බලාපොරොත්තු සුන්වීමේ හැඟීම් වැඩි කරයි, විටෙක අඳුරු සෙවණැලි අතරින් බලාපොරොත්තුවේ රිදී එලි දල්වයි.

නිලක්ෂි බණ්ඩාර 
2024/09/23.

Sunday, September 8, 2024

ගෘංගාර දනව්වේ උමා ශාක්‍යා....❤️



ගෘංගාර දනව්වේ උමා ශාක්‍යා....❤

කතෲ -ඉසුරු අංජුල පෙරේරා.

ග්‍රන්ථ ප්‍රකාශන.

මිළ: රු.1200.

උමා ශාක්‍ය නව කතාව ඇරඹෙන්නේම විවිධ සමාජ පරිසර වලින් පැමිණෙන , සංකීර්ණ ගතිපැවතුම් ඇති, තෝරාගැනීම් අතර අතරමං වන චරිත කිහිපයක් වටා ගෙතෙන ගෙතුමක් විදියටයි.එලෙසම කතාව ඇරඹෙන්නේ සැප්තැම්බර් මස ඇද හැලෙන වස්සාන සමයත් සමගිනි.වැසි සමය අඳුරෙන්, සීතලෙන්, මීදුමෙන් පිරි වටපිටාවක් හිමි කාලයක් වන අතර .... , 

ඒ ඔස්සෙ ගැඹුරින් සිතන විට කතාව පිලිබඳ යම් කිසි ඉඟියක් පාඨකයාට 

ලැබෙන බව පෙනී යයි.

" අහස !ඔය තරම්ම වහින්නෙ ඇයි?

මාත් එක්කම උඹත් අඬනවද?.....

විසඳුම් නොසොයා ගැටළු සමග ඉදිරියට යාමේදි එය අපට මෙන්ම සමාජයටද විසල් ගැටළුවක් වීමට ඉඩ ඇත. වැරදි අඩුපාඩු, ඝට්ටනයන් බොහෝ සිදුවීමට ඉඩ ඇත.සැමවිටම අප නිදහස් මනසක් සහිතව අපේ ගමන යා යුතුය.

 යම් කිසි ගැටළුවක සිටින කෙනෙකුට එයින් ගැලවීමට ඇති හොඳම විසඳුමක් වන්නේ තමන්ව රිදවන පරිසරයෙන් සහ මිනිස්සුන්ගෙන් ඉවතට යෑමය.    

සමහර වෙලාවල් තියෙනවා අපට අවශ්‍ය උපදෙස් නෙමෙයි. වැලඳගැනීමක්. හිස තියා ගන්න උරහිසක්. අපිට ඇහුම්කන් දෙන්නෙක්.❤️

ඒ මොහොත කෙනෙක්ගෙ ජීවිතයට විසල් සැනසුමක් වේවී.

ඒ ගෙවෙන මොහොත අපිට ජීවිතයක් රකින්න ලැබෙන අවස්තාවක් වෙන්නත් පුළුවන් .

එය 43 වන පිටුවෙ ඇති.....

                                    " ඔයා ඒ කතාව කියන්න ලෑස්ති නම් , 

                මම ලෑස්තියි අහන්න. මෙතන ඉන්නෙ ඔයයි මමයි විතරයි ."

                                    "මම කියන්නම් සර්....."

උමා ශාක්‍ය නව කතාවෙ මම ආසම දෙබස......❤️

සේවාදායකයාගේ හිතේ තෙරපෙන හැඟීම් සමුදාය උපදේශකවරයාට පැවසූ විට එයින් සිතේ ඇති පීඩනය ඉවත් වේ. 

මෙහිදී වෛද්‍යතුමා විසින් සිදු කරනු ලබන්නෙ එයයි.  

එලෙසම ඔවුන් දෙදෙනා අතර ඇතිවන්නාවූ අවබෝධය සහ විශ්වාසනීයත්වය රැකීම මෙහිදි ඉස්මතු වන ප්‍රධාන ආචාර ධර්මයකි.එය මනාව මෙහි සඳහන් කර තිබෙනවා.

ශාක්‍යාගේ හමුවීම සඳහන් කරමින් යන අතරම මෙහි අනික් ප්‍රධාන චරිත කතාව තුළට පිවිසේ.

නමුදු ඔවුන්ගේ හමුව සුන්දර හමුවක් නොවේ. මොවුන් කතාව වෙනස්ම මානයකට ගෙන යන්නේ පාඨකයාව කතාව තුළ තරමක අතරමං කිරීමක් ද සිදු කරමිනි.

 නුවී ට අනුව ප්‍රේමය යනු සීමා මායිම් නොමැති හැඟීමකි. ඇය ආදරය කරන්නෙ නැවත ආදරයක් බලාපොරොත්තු නොවීය. .

තමන් ජීවත් වන පරිසරය කෙනෙකුගේ ජීවිතයට කොතරම් බලපානවද යන්න හොඳින් විග්‍රහ වුණ නව කතාවක් විදියට ගෘංගාර දනව්වේ උමා ශාක්‍ය කෘතිය හැඳින්වීම ට හැකිය .

ඉනික්බිති පේරාදෙණියේ සුන්දරත්වය පිලිබඳ මනා විවරණයක් කර්තෘ විසින් සිදු කර ඇත. සොබා සුන්දරත්වය මැද සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේ සිදුවන සිදුවීම් සමුච්ජයක් පිළිඹිබු කර ඇත.

......ඉනික්බිති ප්‍රේමවන්තයින්ගේ පාරාදීසයේ දි ඔවුන්ගේ ප්‍රේමය ඇරඹිණි.

දිනෙන් දින දළු ලා වැඩෙන ගසක් මෙන් යුවී - ශාක්‍ය ප්‍රේමය වැඩුනේ ඔවුනොවුන්ගෙන් මොහොතකට හෝ වෙන්ව සිටීමට ඉඩක් සිතට නොදෙමිනි.

මෙම නව කතාවේදී කතුවරයා විසින් මොවුන් පිලිබඳ විවිධ ඉඟි , විව්ධ සංකේත ඔස්සේ ඉදිරිපත් කර ඇති ආකාරය අගනේය.

වැහි සහිත අඳුරු කාලගුණය 

අක්බාර් පාලම

ස්වභාවධර්මයේ සංසිද්ධීන්

නිසොල්මනේ ගලා යන මහවැලිය.....

එවැනි උදාහරණ වේ.

යුවේන්ගේ කඩවසම් බව නිසාම ශාක්‍යා මානසික ඝට්ටනයන්ට මුහුණ දුන්නාය.නමුදු ශාක්‍යා ඔහුව අතිශය විශ්වාස කලාය. 

ඒ නිසාම ඇයට ඔහු බලාපොරොත්තු වූ යම් යම් දෑ තේරුන් ගැනීමට නොහැකි විය.

මන්ද .......ඔහුගේ ඇතුලාන්තය හඳුනාගැනීමට ශාක්‍යාට නොහැකි වීමයි.

බිනුර යුවේන්ගේ බොහෝ ප්‍රශ්න වලදි, ඒවා විසදා ගැනීමට ඔහුට උපකාර කළේ සැබෑ මිතුදමක් විදහා පාමිනි.  

"ජොබ් එකට කලින් ජීවත් වෙන්න ට්‍රයි කරපන්." රෝහලෙන් පිටව යන දවසේ බිනුර යුවේන්ට කීවේය.

යුවේන්ගේ ජීවිතය උඩු යටිකුරු කළ සිදුවීම් ජාලය ඇතිවන්නට පටන් ගන්නේ ඒ උපදෙස යටතේ ජිවිතයට වෙනසක් සොයා ගිය ගමනේදිය.

එනම් කැලණියේ සංගීත ආශ්‍රමයයි....

සංගීතයට ප්‍රිය කල ඔහුට ආශ්‍රමයට ගිය දිනයේදී ඇසුණේ තරුණියක ගැයූ ගීතයකි..

මා....

ගෘංගාර සිහිනේ 

නුඹේ අතැඟිලි අතැර ගිය මේ

ගෘංගාර සිහිනේ ....

සුමුදු රළ පෙල සමග පාවෙන 

අතරමං වුණු කුඩා ඔරුවක 

තනිව සරනෙමි නැතිව අදිටන්

ක්ෂිතිජයේ ඔබ ඇතැයි සිතමින්......

උමාගේ චිත්ත අභ්‍යන්තරය පාඨකයාට එළිදැක්වෙන මොහොතක් ලෙස මේ අවස්ථාව පෙන්වාදිය හැකිය.

ඒ බව 244 පිටුවේ ඇය ලිවූ...

දෙමළිචි පැටව් කිචි බිචි හඬ මහ සද්දේ

මගෙ හිත තරම් නැහැ කොතරම් වුව රොත්තේ

ආලවන්තකම් නැහැ නුඹලට හැඟුණේ 

මං විතරයි ආදර මහිමය ලැබුවේ

ඔහු දෙලොවක් අතර අතරමං විය.

 මේ වන විට ඔහු තියුණු පිහිතලයක් උඩ රැඳී සිටින්නෙකි. 

හිත චංචල තැනක බැඳීමක් රැක ගැනීමම අභියෝගයකි.

මොකද අහසක් වගේ වෙනස් වන මොහොත කොයි වෙලාවෙද කියලා අපිට අනාවැකි කියන්න පුලුවන් කමක් නැති නිසා....

එතනදි දෙන්නගෙන් එක්කෙනෙක්ට තමන්ගෙ ඉවසීම වගේම දරා ගැනීම උපරිමෙන්ම ප්‍රගුණ කරන්න වෙනවා.

ඒත්... ඒ ඉවසීම ,දරා ගැනීම කොතරම් දුරකට සාර්ථක ද? ප්‍රායෝගිකද..... ?

අවසානයේ කුමක් වේවිද?

ආදරේ ළඟදි වගේම හැඟීම් ලගඳිත් මිනිසුන් අසරණ වෙන අවස්තා අනන්තයි.දරුවන් , දෙමව්පියන් , යුතුකම් සහ වගකීම් ,ආගම්, කුල බේද, සංස්කෘතිය ,සදාචාරය වගේ කරුණු ඉස්සරහා බොහෝ ආදර කතා එමටයි.

සිග්මන් ප්‍රොයිඩ් පැවසුවාක් මෙන් මිනිසුන්ගේ යටි සිතේ ඇතිවන ජාගර සිතුවිළි එලියට ඒමෙන් සහ හැඟීම් පාලනයට ඇති අසමත්කම නිසා ඇතිවන ගැටළු බොහොමයක් විසඳුමක් නැති ප්‍රශ්න රාශියකට හේතුවක් වන බව අංජුල සොයුරා විසින් රචිත ගෘංගාර දනව්වේ උමා ශාක්‍ය නව කතාව ඔස්සේ පැහදිලි කරන සත්‍යයි. 

සමාජයේ බොහෝ මිනිසුන්ගේ තිත්ත යථාර්ථය එලිදක්වන මෙම කෘතිය 18+ පාඨකයින්ට සමාජය පිලිබඳව ,මිනිසුන් පිළිබඳව , ආදරය සොයා යමින් හෙම්බත් වන මිනිසුන් කොතරම් අසරණවීමකට ලක් වෙනවාද යන්න හඳුනා ගැනීමට අවස්ථාව සලසා දුන් කෘතියක් ලෙස හැඳින්වීමට හැකිය.

තවත් යථාර්ථවාදී නිර්මාණ රැසක් එලිදැක්වීමට ශක්තිය ලැබේවා !!!.

නමුත්... කිසිදිනෙක ඔබ මතකයෙන් හැර නොයා ගොස්...

"නුඹ වෙනුවෙන් පමණක්ම පවතිමි"       

🍃|ශෘංගාර දනව්වේ උමා ශාක්‍යා|🍀

නිලක්ෂි බණ්ඩාර .

09/07/2024.