Friday, June 5, 2020

පාට වේල්පට (Painted Veil by W. Somerset Maugham)

පාට වේල්පට 


පාට වේල්පට කෘතිය වනාහි විශ්ව සාහිත්‍යවේදී සමර්සෙට් මෝම් ගේ පේන්ටඩ් වේල් කෘතියෙහි සිංහල අනුවාදය වන අතර එය අසෝක නිශ්ශංක මහතා විසින් අනුවාදයට ලක් කරන ලදී.එය විවාහක තරුණියක් සහ සළෙලු තරුණ පියෙකු මෙන්ම දේශපාලඥයකු   අතර ඇතිවන රහස් ප්‍රේමයක් වටා ගෙතුණු කතාවකි.මෙම කතාවට උපයුක්ත වන්නේ 1952 දී චීනයේ පැවති යුධ සමයක් තුලදී එහි වාසයට පැමිණෙන සිවිල් බ්‍රිතාන්‍ය ජාතික රාජ්‍ය සේවකයන් ය.මෙහි ප්‍රධාන චරිතයන් කිටි වෝල්ටර් සහ චාලි ටවුන්ස් එන්ඩ් යන චරිතයන් වේ.මෙම කතාව ඔස්සේ පෙන්වන යථානුරුපි සමාජ සංසිද්ධිය වර්තමානයටත් ගැලපෙන බව කිව යුතුය/

කිටි යනු උසස් මධ්‍යම පාන්තික තරුණියක් වන අතර විනිශ්චයකරුවකුගේ දියණියක්ද වේ. ඇය වෝල්ටර් නම් බැක්ටීරියා වේදියකු හා විවාහපත් වේ.ඔවුන් අදහස් සහ හැගීම් අතින් වෙනස් ස්ථර වල ජිවත් වන අතර කිටී  තරුණ කෙළිලොල් විනෝදයට බර සමාජශීලි  තරුණියකි.
නමුදු වෝල්ටර් ඉතාමත් නිහඬ ව ජීවිතය ගෙනයන පොතට ඇළුණු ප්‍රියසම්බශනයන් නොරිස්සු පුද්ගලයෙකි.ජිවිතයේ යම් යම් අවස්තාවන් වලදී වෝල්ටර් ශක්තිමත් බුද්ධිමත් පුද්ගලයකු වුවත් ,ඉදිරිපත්වීමට මැලිකමක් දක්වයි.ඔහුගේ මෙම ස්වභාවය පසුකලකදී කිටීට හමුවන චාල්ස් නමැති කඩවසම් පුද්ගලයා සමග සංසන්දනය කිරීමට පෙළඹේ. චාල්ස් සමග කිටී  අනියම් සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට මෙම හේතුව පාදක වේ.එමෙන්ම කිටිගේ මව හා පියා අතර සම්බන්ධතාවය අඹු සැමි ආදරයකට වඩා විනිශ්චයකරුවකු වන පියාගේ සමාජ තත්වය මත ගලා යන සම්බන්ධතාවයකි.මවගේ මෙම ගතිපැවතුම් ද තමාට ගැලපෙන පුද්ගලයකු සොයනවාට වඩා ඉහළ සමාජ තලයක සිටින පුද්ගලයකු විවාහය සඳහා තෝරා ගැනීමට කිටි කෙරෙහි බලපායි.

කිටිත්  සමගින් අනියම් සම්බන්ධතාවය පටන් ගැනීමට පෙර චාලි හොංකො න්  නුවර තානාපති ධුරයක් ලැබූ  වොල්ටර්ගේ ප්‍රධානියා ද වේ.දිනක් මෙම රහස් සම්බන්ධතාවය වෝල්ටර් දැන ගන්නා අතර ඔහු නිහඬව කිටීට පවසන්නේ ඔහුට චීනයේ  කොලරා වසංගතයෙන් පෙලෙන  ප්‍රදේශයකට යාමට අවස්තාවක්  ලැබී තිබෙන බවයි.එම ගමනට කිටිද ඔහුත් සමගින් පැමිණිය යුතු බව ඔහු තරයේ පවසයි.

මේ වන විට හොංකොං   නගරයේ යටත් විජිත ලේකම්වරයා වන ටවුන්එන්ඩ් හට ඔහුගේ ජනප්‍රියභාවය සහ සමාජ තත්වය රැක ගැනීමට බිරිඳගෙන් විසල් පිටුවහලක් ලැබේ.වැඩුණු දරුවන් දෙදෙනෙකු සහිත පවුල් සංස්ථාව ඔහු අගය කරයි.ඒ බව

"මගේ බිරිඳගෙන් දික්කසාද වෙලා ,ඔයාව කසාද බැඳලා මගේ ජිවිතේ විනාස කරගෙන ඔයාව විතරක් බේරා ගන්න කියලා කියන එක හරි දෙයක්ද?
මම කරන්න කැමති ප්‍රමාණයට වැඩියෙන් දෙයක් මට කරන්න බැහැ."
කිටි සම්පුර්ණයෙන්ම රැවටීමකට ලක්වූ ආකාරය මින් අදහස් වේ.
"ඇය උමුතුවෙන් මන් වැලපෙන්නට වුවාය.

වසංගතය  සහිත මෙයි -ටුං-  ෆූ පෙදෙසට යාම කිටි ප්‍රතික්ෂේප කරන විට වෝල්ටර් අසන්නේ
" චාල්ස් ඔබ භාර ගැනීමට සුදානම්ද?     යනුවෙනි.අවසානයේදී සැමියා සමග යාමට තීරණය කළ කිටී ටුන් ෆු පෙදෙසේ ගත කළ මාස කීපය හුදකලාව ජිවත් වෙයි.


.මෙම කතාව ඔස්සේ සමර්සෙට් විසින් ගැහැණුන් සහ පිරිමින් අතර ඇති වන්නාවූ සමාජ ගැටළු ආලය සහ රාගයෙහි වෙනස හඳුනා ගත නොහැකි වූ විට ඇතිවන්නාවූ සමාජ ඝට්ටනයන් මෙන්ම ස්ත්‍රී පුරුෂ යථාර්තයන් චිත්‍රණය කරමින් පාඨක මනසට කතාව රස විඳීමට අවස්තාව උදා කොට ඇත.

නව කතාවකට බොහෝ විට හේතු පාඨ කරගන්නාවූ සමාජ සිද්ධීන් කවර සමාජයකට වුවද පොදු ඝට්ටනයන් වේ.කතාවෙහි එන චරිතයන් තමන් මුහුණ දෙන ගැටළු ඔස්සේ එම සමාජ සංසිද්ධීන් වලට මුහුණදෙන අකාරය ඉතාමත් ගැඹුරු ව නමුත් රසවිඳින්නාට තේරුම් ගත හැකි අයුරින් කතාවට බාධාවක් ඇති නොවන පරිද්දෙන් ඉදිරිපත් කිරීම කතුවරයා සතු සුවිශේෂී ලක්ෂණයකි.මෙම නව කතාව කියවාගෙන යාමේදී අපට දකින්නට ලැබෙන  විශේෂ ලක්ෂණයක් නම් චරිතයන් ඔප්නැංවීමෙහි ලා පරිසර වර්ණනයන් භාවිත කර තිබීම.ඒ මගින් චරිතය වටා ඇති පරිසරය ඉතාමත් සරලව දැක්වේ.ඔහුටම අවේණික වූ නිර්මිත ශෛලියකින් ඉතා කෙටි ව මෙම පරිසර වර්ණනා ගෙන එන ලද අතර

ඒ බව
”ඒ කුඩා ගොඩනැඟිල්ලේ පිය ගැට මත හිඳගෙන ඔවුහු පහතින් පිහිටි වසංගතය බිලිගෙන තිබූ නගරය දෙසට සෙමින් ගලා බසින ගඟ දෙස බලා සිටියෝය. ඒ නගරය වටා ඉදිකොට තිබූ තාප්පය ඔවුන් සිටි තැනට මනාව දිස්විය. එහි වූ දැඩි උෂ්ණය ඝන කළු රෙද්දක් ඇඟලාගත් විටෙක මෙන් දැඩිවිය. ජීවිතයේ අනියත බව පිළිබඳව කියා පාමින් ගඟ සෙමෙන් ගලා ගියේය. සියලු දේවල් ගලා ගොස් නැතිවී යයි. මුළු මිනිස් සංහතියම ගඟේ වතුර බිංදු වැනි යැයි කිටීට සිතුණි. වතුර බිංදු එකිනෙකට ළංව නිමක් නැති ගංවතුරක් සේ මුහුදට ගලායයි. සියලු දේ ඉතා ඉක්මනින් නැතිවී යන මුත් මිනිස්සු ඉතා සුළු දේ මහත් කොට සලකමින් තෘප්තියෙන් තොර ජීවිත ගත කරති.”
( 155) පිටුවේ සඳහන් ඉහත ජේදයෙන් අපිට හඳුනා ගත හැක.

කිටි දරුවකු ලැබීමට සිටින බව පැවසු විට වෝල්ටර් අසන්නේ තාත්තා මමද ? යනුවෙනි.නිහඬ ව සිටි ඇයගේ චරිතය මෙතැනදී පවසන්නේ දැඩි ආත්මාර්ථකාමී ස්වභාවයකි.කිටි වෝල්ටර් නමැති වෛද්‍යවරයාව අගය නොකළත් ඔහු කළ විශාල සමාජ මෙහෙවර  පල්ලියේ ප්‍රධාන මවුතුමිය දකින්නේ 

" එතරම්  හොඳ , නිර්භීත නුවණැති ස්වාමිපුර්ෂයකු ලබන්නට කිටි කෙතරම් වාසනාවන්ත වී ඇත්දැයි යනුවෙනි.

දෙදරා ගිය ජීවිතය සමාජ සේවයට කැප කළ වෝල්ටර් වෛද්‍යවරයා කොළරාව සෑදී මිය යන අවස්ථාවේ පවසන දේ පාඨක හදවත් වේදනාවකට පත් කරයි.චාල්ස් හමුවූ පසු සිය සැමියාව සිප ගැනීම පවා ප්‍රතික්ෂේප කල කිටි වෝල්ටර් ව සිප ගනී.ඔහුගෙන් සමාව අයදී.
"ඒ බල්ලා දැන් මැරිලා " සැමියා පවසයි.

ජිවන මගේ වැරදි මාවතක ගොස් ව්‍යාකුල කර ගත් සිද්ධීන් අත්දැකීම් කර ගෙන තමාට ලැබෙ යයි අපේක්ෂා කරන දියණිය ලෝකය තේරුම් ගත් දරුවකු සේ හදා වඩා ගැනීමට කිටි තීරණය කරයි. 

වෝල්ටර් යනු මනුෂ්‍ය ගුණාංගයන් ගෙන් පිරි ශ්‍රේෂ්ට මනුෂ්‍යයෙකි.එය කිටිට අනුව නම් ව්‍යාජ ප්‍රතිරුපයකි.මෙහිදී ඇත්තෙන්ම දකින්නට ලැබෙන්නේ ඒකපාර්ශවික ප්‍රේමයක් වන අතර , වෛරයක් ඇති වුවත් , කිටිට අනුකම්පා කර ඇය  මෙයි -ටුං-  ෆූ පෙදෙසට කැටුව යාමට ඔහු කල්පනා කරයි.
ඔහුගේ සිතේ ඇතිවුණු ආදරය ඉතාමත් පිරිසිදු පෙමක් වන අතර ආත්ම පරිත්‍යාගය සහ හික්මීම මගින් සිතේ ඇතිවන්නාවූ ක්‍රෝදය  වලක්වනු ලබයි.නමුදු අවසානයේදී  ඔහු විසින් ඔහුටම දඩුවම් කර ගැනීමට තරම් මුරණ්ඩු චරිතයක් වේ.

මෙම කතාව කියවීමේදී කිටි සහ වෝල්ටර්ගේ නැවත එකතුවීම හේතුකොටගෙන  මම වික්ටෝරියානු සම්භවය ඇති සතුටින් නිමවන අවසානයක් බලාපොරත්තු වුන නමුදු එය ඛේදාන්තයකින් අවසන් වීම ඉතාමත් දුක් මුසුය.
මෙම කතාවේ ප්‍රධාන තේමාවන් ලෙස නිදහස සොයා යාම ,ආදරණිය විවාහයක සොඳුරු බව විඳීමට උරුමකම් නොපෑ කිටිගේ බලාපොරොත්තු කඩවීම ,විවාහය ඔස්සේ විඳින්නාවූ චිත්ත පීඩාවන් නිසා ඇය ඇතුල්වන්නාවූ සරාගී අනියම් ප්‍රේමය ,චාලිගේ කෙළිලොල් බව හා මුසුවුන ස්ත්‍රී ලෝලිත්වය සහ ආත්මාර්ථකාමී බව පෙන්වා දිය හැකිය.

පාට වේල්පට කතාව කාම මිත්‍යාචාරය සහ නිදහස ඔස්සේ ගලායන ශෝඛන්තයකි.කෙළිලොල් චරිතයක් වූ කිටී තමන් පත්වන අභාග්‍යසම්පන්න සිද්ධිය නිසාවෙන් ඇයගේ සිත තුල මෙන්ම බාහිර ව ඇතිවන්නාවූ භයානක චිත්ත පෙරළිය සහ රූපාන්තරණය ඉතාමත් සරල භාෂාවක් ඔස්සේ පාඨක සිතට සමීප කරවයි.කතාවේ පසුතලය ඉතාමත් පැහැදිලිව රචනයට ලක් කර ඇති අතර සිත්ගන්නා සුළු අන්දමින් චරිතාංග එක්තැන් කොට තිබේ.

මෙම කතාව සම්භාව්‍ය ඉංග්‍රීසි සාහිත්‍ය කලාවේ ලියැවුණු ශ්‍රේෂ්ට කෘතියක් බව මගේ හැඟීමයි .සම්භාව්‍ය ඉංග්‍රීසි භාෂාව භාවිතා කලත් එය සරලව පාඨකයාට තෙරුම් ගත  හැකි අන්තර්ගතයක් ඇතුලත් වන ලෙස රචනා කිරීම මෙම කතාවේ ඇති සුවිශේෂිත්වයයි.මෙහිදී සමර්සෙට් මෝගම් විසින් කිටීගේ අනියම් ප්‍රේමය නිසාවෙන්ම වෙනස් වන  ඇය තම ජීවිතය යහපත් අතට පරිවර්තනය කර ගන්නා ආකාරය ඉතාමත් ලගග්නා සුළු අයුරින් පාඨක මනසට ඇතුලත් කර ඇත.එමෙන්ම පැරණි චීනයේ සිදුවන සංස්කෘතික විප්ලවය ඉතාමත් අපුරුවට මෙම කතාවට අන්තර්ගත කර ඇත. කිරීම තුලින්.මෙම කතාව සංස්කෘතිකමය, සාහිත්‍යමය ,භාවාත්මක වශයෙන් මෙන්ම භාවිත කරන ලද ලිවීමේ ශෛලිය අතින්ද සාර්ථක කෘතියක් බව මට හැඟෙ.මෙහි යොදාගෙන ඇති පරිච්ජේද කෙටි වන අතර කියවාගෙන යාමේදී අවශ්‍ය විටෙක කියවීම නැවත්වීමට හැකි වීම මෙම ලේඛන රටාවේ ඇති සුවිශේෂිත්වයයි.

සමර් සෙට් මෝම්  මෙම කතාව ඉතාමත් සුන්දරව ගෙත්තම් කොට ඇති අතර ජිවිත වල අපිළිවෙල , සිදුවන පාවා දීම්, මනසේ ඇතිවන විශාදය ,මානසික ඝට්ටනය, ඉච්ජාභාන්ගත්වය, ජාතින් අතර ඇතිවන වියවුල් මෙම කතාව ඔස්සේ දැකිය හැකි තේමාවන් වේ.පුද්ගලයන් අතර මානසිකව සහ කායිකව ඇති වන වෙනස්වීම් සහ නොගැලපීම් ඔස්සේ සිතෙහි ඇතිවන වේදනාව හොදින්ම මතු කළ කතාවක් ලෙස පාට වේල්පට කෘතිය නම් කළ හැක.






No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........