Monday, March 30, 2020

මානයයි අගතිමානයයි -අනඳපිය කුඩාතිහි මහතා


Image result for pride and prejudice
විශ්ව සහිත්යධාරිනියක වූ ජේන් ඔස්ටින් විසින් විසින්  Pride and Prejudice නව කතාව 1813 දී රචනා කරන ලද අතර එයට විශ්ව ව්‍යාප්ත තේමාවක් වන ප්‍රේමය සහ වියෝව උපයුක්ත කරගෙන ඇත.මෙම කතාව ඔස්සේ ඉංග්‍රීසි නව කතාවේ ස්ත්‍රී භාවය මැනවින් පිළිඹිබු කරන අතර  කතා නායිකාවන්ගේ දෘෂ්ටි කෝණයෙන් කතාව ඉදිරිපත් කෙරේ. මෙම නව කතාව සිංහල සාහිත්‍යයට එකතු කරනුයේ අනදපිය කුඩාතිහි මහතා විසිනි.මෙය 19 වැනි සියවසේ සම්භාව්‍ය සාහිත්‍ය ප්‍රිය කරන්නන්ට සුදුසුම නව කතාවකි.

ජේන්  විසින් රචනයට ලක් කරන ලද අනිකුත් කෘති තුළ මෙන්ම මෙම නවකතාවෙද ආත්මය වන්නේ උත්ප්‍රසයයි.මෙහිදී සංකීර්ණතාවය හා සරළතාවය එකිනෙකට ගෙන ඒවා සංසන්දනය කිරීමේදී ඒවායේ ප්‍රතිවිරුද්ධකම් පෙන්වා දීමට ජේන් උත්සහ කරයි.ජේන්  මෙම කතාවට පාදක කොට ගත් ඇය ජිවත් වූ සමාජය ඉඩම් හිමි රදල පන්තිය අලුතින් පැන නැගී ධනවත් කාර්මික පන්තිය සහ කම්කරුවන් ලෙස කොටස් තුනකින් යුක්ත විය.

සමකාලින සමාජයේ මහත් ප්‍රසාදයට ලක්වුණ මෙම නව කතාව වර්තමානයේද පාඨකයින් අතර ආදරයට හා ගෞරවයට පත්වුවකි.එමෙන්ම රජයේ විබාග සඳහා නිර්දේෂිත ඉංග්‍රීසි නව කතාවක් ලෙසද වැදගත් වේ.මේ ගැන ප්‍රසිද්ධ විචාරකයකු වන ජෙනිල්ඩ් ෆරෙර් පවසන්නේ මෙය ඉංග්‍රීසි සාහිත්‍යයේ මහාම ප්‍රාතිහාර්ය සේම අමරණිය නවකතා පහ අතුරෙන් එකක් බවය.ජේන් විසින් සෑම විටකම පෙනුමේත් සත්‍යතාවයේත් වෙනස පෙන්නුම් කරයි.පෙනුමෙන් ශිෂ්ටසම්පන්න වූ සමහරකු දුෂ්ටයන්  බවත් පෙනුමට අනුකුලව සිරිත් විරිත් සම්ප්‍රධාය නොදන්නා සමහරුන්  නියම මහත්වරුන්  බවත් හෙළිකෙරේ.

මෙහිදී ඩාසි සහ එලිසබෙත් සංකීර්ණ චරිත වන අතර ජේන් සහ බින්ග්ලි සරල චරිත වේ.ඒ චරිත දෙකේ  ගැඹුරක් ඇතත් ඒ නිසාම ඒ චරිත දෙක මානයේත් අගතියේත් අනතුරට ලක් වේ.සරලත්වය හොඳම ගුණාංගයන් නිසා එය සදාචාරයට පෙරලෙයි.මෙහි දකින්නට ලැබෙන නියතතාවත් සරලතාව හා සමමිතික බව නිසාම එය අගය කලයුතු සාහිත්‍ය කෘතියක් වී ඇත. ප්‍රධාන වස්තුවත් උප වස්තුනුත් අතර සම්පුර්ණ වූ ගැලපීමක් ඇති අතර චරිතවල ආකල්ප මුලින් පෙනෙනවට වඩා වෙනස්ම ආකල්පයන් බවට පත් වේ. එයට නිදසුනක් වන්නේ ඩාසි කතාවේ මුල් භාගයේදී සිරිත් විරිත් නොදන්නා අවිචාර පුද්ගලයකු ලෙස පෙනුනත් අවසානයේදී ඔහු විචාරශීලි බැවින් යුතු පුද්ගලයකු බවත් විකම් යහපත් සිරිත්විරිත් දන්නා පරිපුර්ණ මිනිසකු ලෙස දක්වා සත්‍යවශයෙන්ම දුෂ්ටයකු බවත්  තහවුරු වීමෙනි.මේ ඔස්සේ කතාවට ජීවයක් ලැබී ඇත.

ගෘහස්ත නව කතාවක් සේ සැලසෙන මානයයි අගතිමනයයි කතාව ප්‍රේමය විවාහය සහ ගෘහස්ත කුටුම්බයේ ඇතිවන විවිධාකාරවූ ඝට්ටනයන් පිලිබඳ මනා පිළිඹිබුවක් වේ.චිත්‍රයක තත්වය රඳා පවතින්නේ කැන්වසයේ දිග හා පළල මත නොව චිත්‍ර ශිල්පියාගේ දර්ශනය සහ ඒ දර්ශනය ඉදිරිපත් කරන කලාත්මක ආකාරය මතය. ඒ ඔස්සේ සිතන විට ප්‍රේමය සහ විවාහය ජිවිතයේ කඩ ඇණ ලෙස සිතිය හැක.එමෙන්ම කුඩා පවුල් ඒකක ලෙස සමාජය පවතින අතර මානුෂික අත්දැකීම් වල අරුත්බරම අංග ලෙස දැක්වෙන්නේ මෙම කුඩා පවුල් එකකවලය.මෙම අනුභූතීන් උපයෝගී කර ගන්නා ප්‍රතිභාපුර්ණ නව කතාකරුවට ජීවිතය පිලිබඳ හරවත්  නිර්මාණය ගොඩ නගා ගත හැක.

මානයයි අගතිමනයයි නව කතාව විශ්ව ව්‍යාපිය වැදගත්කමකින් යුතු සිත් ඇඳබැඳ ගන්නා කතාවක් වන අතර ජේන්ගේ ශ්‍රේෂ්ටත්වය රඳා පවතින්නේ එදිනෙදා ජිවිතයේ සාමාන්‍ය වූ තේමාවකට ශ්‍රේෂ්ඨ වූ ද විශ්ව සාධාරණ වූ තත්වයක් ආරුඪ කිරීම නිසාවෙනි.මෙම විශ්ව සාධාරණ චිත්‍රය ඇය ඉදිරිපත් කරන්නේ නාට්‍යමය ස්වරුපයකින් වීම නිසාම රස විඳින පාඨකයා උද්යෝගයකින් සහ උනන්දුවකින් යුතුව රසවිඳි.

ආදරය , එකිනෙකා පිලිබඳ සිතෙහි ඇතිවන්නාවූ හැඟුම් සමුදායන් ,එකිනෙකා පිලිබඳ ඇති කර ගන්නාවූ වැරදි වැටහීම්,යනාදී අප සාමාන්‍ය ජීවිතයේදී සිදුවන සහ මුහුණ දෙන සිදුවීම් සමගින් මෙම කතාව ජේන් විසින් අපට ලන්කරන් ලබයි. ජීවිතයේදී අප මුහුණ දෙන සමහර පාඩම් වේදනාකාරිය.නමුදු එම අත්දැකීම් හේතුවෙන් අප ශක්තිමත් වේ.එමෙන්ම අපේ ආත්ම විශ්වාසය ගොඩ නැගේ. එමෙන්ම මේ නව කතාව අපුරු පාඩමක් අපට උගන්වයි.එනම් අප භාවිතා කරන වචන වලට සිදු කල හැකි හානිය කොතෙක්ද යන්නයි.

අතීතය ධනාත්මක සහ ඍණාත්මක අත්දැකීම් වලින් පිරි ඇති අතර අවශ්‍ය නම් සිදුවූ නරකම අත්දැකීම් ගැන සිතමින් මානසික පීඩාවෙන් අපට සිටිය හැක.එසේ නොමැති නම් අප ලැබූ ඍණාත්මක අත්දැකීම් ජිවිතයට පාඩමක් කරගෙන එය ධනාත්මක ලෙස ජිවිතයට ඇතුලත් කර ගෙන සුන්දර අනාගතයක් ගොඩ නගා ගත හැකි බව  මනාව පෙන්නුම් කරන නව කතාවක් ලෙස ප්‍රයිඩ් ඇන්ඩ් ප්‍රෙඩුජිස් නව කතාව හැඳින්විය හැක.





No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........