Friday, May 22, 2020

අනුරාගයේ මුල් පොත - කමලා දාස්

කමල දාස්ගේ : අනුරාගයේ මුල් පොත ...

"පිරිමි ප්‍රේමයේ නොව අනුරාගයේ බැඳෙති

ගැහැණු තමන්ගේ විනාශය කැඳවන ප්‍රේමයෙහි බැඳෙති
වෙනස ඇත්තේ එතනය - කමලා දාස් "

තරුණ රැඩිකල්වාදී , භාරතීය සාහිත්‍ය ලෝලීන් අතර ඉතා ජනප්‍රිය කිවිඳියක, කතුවරියක හා දේශපාලන නායිකාවක වන මලයාලි ජාතික කමලා දාස්  විසින් ඉංග්‍රීසි බසින් රචනා කරන ලද " Alphabet of Lust " නමැති ග්‍රන්ථය ඉන්දියානු සාහිත්‍යයේ විප්ලවයක් සිදුකල නවකතාවක් ලෙස හැඳින්විය හැකිය.මෙම කෘතිය ප්‍රවීණ ගත්කතුවර ඩබ්ලිව් ඒ අබේසිංහ මහතා විසින් "අනුරාගයේ මුල් පොත නමින් සිංහලයට පරිවර්තනය කර ඇත.එකල අභ්‍යන්තරයෙන් ඔද්දල්ව පවතින භාරතීය දේශපාලනය, ගැහැණු මිනිසුන්ගේ කුහකකම් , එම සමාජ ,දේශපාලන අක්‍රමිකතාවට විරුද්ධව නැගී සිටින අරාජිකවාදී ගති ලක්ෂණ පල කරන රැඩිකල් ව්‍යාප්තිය , කාන්තා විමුක්තිය ,ස්ත්‍රීවාදය යන කරුණු අඩුවැඩි වශයෙන් මෙම ග්‍රන්ථයෙහි චරිත මගින් නිරුපනය කරයි.

බල ලෝභය සහ ධනය හඹා යන මානවි නමැති තරුණ කිවිඳිය තරුණයකු හා ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගන්නා අතර , ඔහු ගුවන් අනතුරකින් මිය යයි.මේ වන විට ගැබිනියක්ව සිටි ඇය මාපියන් විසින් ඇයට වඩා වැඩිමහල් රාජ්‍ය නිලධාරියෙකුට විවහා කර දෙයි.ඔවුන්ගේ අදහස් නොගැලපීම නිසා ඇතිවන ඝට්ටනයන් ඇය දේශපාලනයට පිවිසීමෙන් පසු  රාජ්‍ය නායකයින් පවා ඇයගේ අතේ නැටවෙන රුකඩ බවට පත්වනන් වන ආකාරය කමලා දාස් විස්තර කරයි.විජායි රජේ නමැති තරුණ සල්ලාල ඇමතිවරයා විෂමාචාර චරිතයකින්යුක්ත වන අතර මනාසි ට දියමන්හි කරාබු යුවලක් තෑගී දෙන බව පවසා සිම්ලාවේ නිවාඩුවක් ගත කිරීමට ඇරයුම් කරයි.ඇත්ත වශයෙන්ම මෙම කිවිඳිය තම ආත්ම ගෞරවය සහ පතිවුර්තාව පාවා දෙන්නේ දියමන්ති වලට ඇති ආශාව නිසාමද ? නැතහොත් වැඩි වයස් සැමියකු හා විවහා වූ සිටින ඇය තරුණයින් කෙරෙහි ඇතිවන ආකර්ෂණය නිසාද ?මෙහෙදී කතුවරිය මනෝ විශ්ලේෂණයක යෙදේ.සමාජයේ සිදුවන නොගැලපෙන විවාහ බොහෝ විට අවසන් වන්නේ මහා ඛේදවාචකයකිනි.

"මවක් වරදෙහි බැඳෙන විට විශේෂයෙන්ම ගැහැණු දරුවන්,අනාරක්ෂිත තත්වයට පත් වෙන අතර, ජිවිත ගැටළු වලට පවා ලක්වේ.කමලා දාස් කතුවරිය ඇයගේ නව කතාව ඔස්සේ එම ප්‍රශ්නය කෙලින්ම සාකච්ජා කරයි.මනාසිගේ පෙම්වතා ඇයගේ දියණියව ද වරදට පොළඹවයි.රැකියාව දේශපාලනය වැනි හේතුන් මත මවුවරුන් දරුවන්ගෙන් ඈත් වීම ඉතාමත් ඛේදජනක ලෙස ළමා ජිවිත විනාශයට ඇද දමයි.මනාසි මන්ත්‍රිවරියට ඇයගේ දියණියගේ උපන් දිනයදා පවා  ඇය සමග සිටීමට කාලවේලාවක් නොමැති වේ.මා පිය සම්බන්ධතාවයන්ගෙන් ඈත් වීම ළමා ජිවිත පරිහානියට පත්වීමට  හේතුවන ප්‍රධාන මානසික සාධකයක් බව ලොව පුරා මනෝ විද්‍යාඥයින්ගේ සැලකිල්ලට ලක් වූ කරුණකි.

එමෙන්ම හුදෙක් අනුරාගය පදනම් කරගත් කතාවක් පමණක්ම නොවන මෙය සිංහ වෙස් ගත්  වෘකයින් වැනිවූ කපටි දේශපාලනඥයින් ගේ දුෂිත නිරුවන හෙළිදරව් කරන අපුරුම වෘතාන්තයකි.මිතුරු වෙසින් සිට ඔවුන් සිදුකරන මිනීමැරුම් සාපරාධි ක්‍රියා, කුළල් කා ගැනීම් මෙන්ම කාන්තා චරිත සහ ඔවුන්ගේ දක්ෂතාවයන් දේශපාලකයින්ගේ ඉහල නැගීමට ඉණිමගක් ලෙස යොදාගන්නා ආකාරයද පැහැදිලි කරයි.ඔවුන් ජනප්‍රිය වන්නේ තම දක්ෂතාවයෙන් පමණක් නොව අනුන්ගේ උගත් කම, බුද්ධිමත් බව සහ නිර්මාණශිලිත්වය ප්‍රයෝජනයට ගැනීමෙනි. කාන්තාවන්ගේ දුර්වල චරිත වලින් ප්‍රයෝජන ගන්නා පිරිමින් මෙන්ම ඔවුන්ට පිහිට වන උතුම් පුගලයින්ද සමාජයේ නැතුවා නොවෙයි.මනාසිගේ දරුවාව පියකු ලෙස බාර ගන්නා අමෝල් මිත්‍ර මෙවැනි චරිතයකි.ඔහු සිය දරුවකු මෙන් මෙම දැරිය රැක බලා ගනී.රැඩිකල් වාදී දේශපාලන අදහස් දරණ ,සුපර්ණාගේ හොදම මිතුරා වූ සයිරස් , වරදෙහි බැඳුණු ඇයගේ ජීවිතය ගොඩ ගැනීමට ඉදිරිපත් වීම තවත් නිදසුනකි.ඔවුන් තුල ඇත්තේ කායික බැඳීමෙන් ඔබ්බට ගිය අධ්‍යාත්මික ආදරයකි.හින්දු දහමේ සහ බෞද්ධාගමේ සඳහන් කරුණාව , මෛත්‍රිය පෙරදැරි කොටගත් අදහස් කමලා දාස් ට ද බලපා ඇත.දිට්ඨ ධම්ම වේදනීය කර්ම නියමය බලපාන ආකාරය තරුණ වීජායිගේ දේශපාලන ලෝකය අවසානයේදී දෙදරා යාමෙන් මනාව පැහැදිලි වේ.

ආදරය සහ අනුරාගය අතර දෝලනය වන කාන්තා චරිතයක් ඔස්සේ  සමස්ත කාන්තා සමාජයටම බලපාන   මනෝවිද්‍යාත්මක විමසුමක්  අනුරාගයේ මුල් පොත ඇසුරින් ගැඹුරින් විවරණය කර ඇත.එමෙන්ම මනුෂ්‍ය ආත්මයේ සහ හදවතේ ගැඹුරුතම ස්ථානයන් පිළිබඳව මනා හෙළිදරව්වක් මේ ග්‍රන්ථය  ඔස්සේ රසිකයා වෙත ලං කිරීමට කතුවරිය ගත් උත්සාහය විශිෂ්ට වේ.









4 comments:

  1. ලස්සනයි වගේ පොත. කියවල බලන්න ඕනේ :)

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ;ලස්සන කතාවක් හංසි. කියවන්න. ස්තුතියි ගොඩ උනාට

      Delete
  2. හොඳ කතාවක් වගේ. කමලා දාස් ගේ පොත් කියවලත් නැහැ. ඔත්තුවටත් ස්තුතියි . මේ ලිපියත් ඔයා හොඳට ලියල තියනවා අපට කියවන්න හිතෙන විධිහට.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සර්.මේ පොත සර්ට කියවන්න උනේ නැහැ කිව්වමත් පුදුමයි. හොයාගෙන බලන්න.ඉන්දියාවේ සංස්කෘතිය ,දේශපාලනය ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්.

      Delete

ඔබෙ දිය පොදත් එක් කරන්න.........