Saturday, October 26, 2024

තාරකාවෙන් මග අසා - චිරංජි රණතුංග මහත්මිය.

 


තාරකාවෙන් මග අසා නව කතාව චිරංජි රණතුංග මහත්මිය විසින් රචිත තම දෛවයට අභියෝග කල එඩිතර තරුණියක් වටා ගෙතුණු අපුර්ව කෘතියකි. "අනෙකුත් රටවල් අඟහරු තරණය කරද්දී අපේ රටේ මිනිස්සු තවමත් අඟහරුට වැඳ වැටේ. අපල ගෙවී යන්නැයි කන්නලව් කරයි.අහසේ පාවෙන ගල් කුළුවලට අපගේ දෛවය තීරණය කල හැකිද?

කතුවරිය විසින් මෙම පාරම්පරික විශ්වාසය අභියෝගයට ලක් කරයි.

ජිවන මාවත වෙනස් කරමින් යන මිනිස්සු ජීවිතය ජයගනී.

සුද්දී මැණිකේ හෙවත් කිත්මිණි යමක් කමක් ඇති පවුලක දැරියකි.දෙමව්පියන් උසස් රැකියාවල නියුතු වේ.කුඩා කල ඇයගේ හඳහන බැලූ ජෝතිශ්‍යවේදියා පැවසුවේ  පියාටත්, පවුලටත් ඇයගේ උපතින් අපල උපද්‍රව ඇතිවන බවයි. එක කුස උපන් අක්කත් අයියත් ඇයට වෙනස්කම් වලට බඳුන් වන සුද්දිට මවගේ ආදරයද ලැබෙන්නේ පියාට හොරෙනි.

සීයාගේ ආදරය සෙනෙහස මැද දිවි ගෙවන ඇය ගැන සොයා බලනුයේ සියා සහ නිවසේ මෙහෙකාරිය පමණි.උසස්පෙළ විභාගයෙන් පසු රැකියාවට යන මෙම තරුණියගේ පෙම්වතාවද පියා විසින් කේන්ද්‍රයේ ගැටලුව ගැන පවසා ඇයගෙන් වෙන් කරයි. පියා විසින් ඇයට වඩා වයසින් බෙහෙවින් වැඩි කණවැන්දුම් පිරිමියකුව යෝජනා කරන්නේ මේ අතරතුරදීය. එම අවස්ථාවේදී සීයාගේ උපකාරය ඇතුව ඇය නිවසින් පිටවේ. දකුණු දෙසට යන ඇය ඇයගේම දැන්වීම් ප්‍රචාරණ ආයතනයක් අරඹන්නේ ඇයගේ ඉරණම වෙනස් කිරීමට ප්‍රථම අදියර අරඹමිනි.

කතාව පුරාවට කතුවරිය විසින් සුද්දිගේ මානසික ඝට්ටනය නිරුපණය කරන්නේ පාඨක හදවත් තවත් සංවේදී කරමිනි.මෙම තත්වය මට නිතැතින්ම සිහිපත් කලේ කේන්දරයේ යහපත්කම් හේතුවෙන් තම පියාගේ මරණිය තර්ජනයන්ට පවා ලක්වූ එක්තරා ජනප්‍රිය නිළියකි.

අවසානයේ ඇයගේ ඉරණම කුමක් වේවිද?

තාරුකා සහ ග්‍රහයන් අභිබවා ඇය ජිවිතය ඉදිරියට කෙසේ ගෙනියයිද ?

ඇයගේ අනාගතය කෙසේ විසඳෙයි ද ?

හිමිදිරි පාන්දර රුපවාහිනියේ හා ගුවන් විදුලියේ ප්‍රචාරය වන ලග්න පලාපල වලට අතොරක් නැතුව සවන් දී අපි දවස අරඹමු. දවස හොඳ බැව් කියති.නරක බැව් කියති. යෙදිය යුතු ප්‍රතිකර්ම , පුද පුජා කියති. උදේ ආහාරය වත් නොගෙන කිරි තේ කෝප්පයකින් කුස පුරවන් රැකියාවට යාමට ගෙයින් එළියට බසින අපගේ ඔලුව කුරුවල් කිරීමට මොවුහු සමත් වෙති.

පලාපල විස්තර නියම වෙලාවට ලබා දීමට නොහැකි වුවහොත්, පැරණි විස්තරයක් නැවත ප්‍රචාරණය කරන අවස්ථාද ඇති බව අපි අසා ඇත්තෙමු.

ගලාගෙන යන සරළ බසින් ලියවී ඇති එකිනෙකට වෙනස් සිද්ධීන් සමුහයක සංකලනයක් වූ "තාරකාවෙන් මග අසා " නව කතාව නොනවත්වා රසවිඳිය හැකි ආදර්ශමත් නව කතාවකි.



Friday, October 18, 2024

තවුස් දේශය දුටුවෙමි..... අත්වින්දෙමි.... සොඳුරුතම ප්යෝන්යන් රාත්‍රිය - වෛද්‍ය පුෂ්ප රන්ජන් විජේසිංහ මහතා

 


වෛද්‍ය පුෂ්ප රන්ජන් විජේසිංහ මහතා විසින් රචිත සොඳුරුතම ප්යෝන්යන් රාත්‍රිය , උතුරු කොරියාවේ සේවය සඳහා වෛද්‍යවරයකු , සිවිල් සේවයේ නිළධාරියෙකු ලෙස පත්වීමක් ලැබ , වසර තුනක් එහි ජිවත් වීමේදී මුහුණ පෑ අත්දැකීම් වල එකතුවකි. දේශ සිමා හරහා යාමේදී මෙන්ම රට තුළ ලියාපදිංචි වීමට අනුගමනය කළ යුතු වැඩපිළිවෙල ,ගුවන් ගමන් පිලිබඳ විස්තර මෙම රටට ඇතුළු වීමේදී ආධුනිකයෙකුට ප්‍රයෝජනවත් වන තොරතුරුය. එරට ප්‍රවාහන , විදුලි සංදේශ ,රාජ්‍ය වැනි සේවාවන් වෙනත් ආසියාතික රටවල් වලට වඩා කොතරම් වෙනස්දැයි කතුවරයා පැහැදිලි කරයි.

රුසියාව,  ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකම අධ්‍යාපනික කටයුතු සඳහා යුනිසෙෆ් ආයතනයේ සේවය කර ඇති පුෂ්ප රන්ජන් මහතා ඔහු තුළ විදේශ රටක් පිලිබඳ ඇති දැනුමද චිත්තකර්ශනිය ලෙස ඉදිරිපත් කරයි.සිමා මායිම් වලට මධ්‍යයේ  වුවත් , ඔහු එහි සතුටින් කාලය ගත කරයි. විදේශිකයෙකුට උතුරු කොරියාවේ වැසියෙකු තබා තමා සමග සේවය කරන අයකු වුවද ඇසුරු කිරීමට සම්බාධක ඇත. එම ඇසුර නිබඳවම පරීක්ෂණයට ලක්වේ.

ජපන් අධිරාජ්‍යවාදී පාලනයෙන් පසු උතුරු කොරියාවේ ඇති වූ දේශපාලනික ආර්ථික ,සංස්කෘතික සහ ජනගහණය අධික ප්‍රදේශ වල පැල්පත් ජනාවාස සංස්කෘතිය කතුවරයාගේ අවධානයට ලක්ව තිබේ. සත්‍ය වශයෙන්ම ජපන් යුද්ධය නිසා පොලවට සමතලා වී ගිය ප්යෝනියන් නගරය පිළිබඳ කතාන්දරය අපේ රටේ ජනතාවට ආදර්ශයකි.

ජපන් සහ ඇමරිකානු අධිරාජ්‍යවාදයට එරෙහිව සටන් කල ජනරාල් කිංග් ඉල් සුං වීරයා වසර විසි හතක් පුරා වැතිර සිටින " කුම් සුසම් මාලිගය " පිලිබඳ කතුවරයා ඉදිරිපත් කරන විස්තරය අපුරුය.ගුරුවරයකුගේ පුතෙකු ලෙස සාමාන්‍ය පවුලක උපත ලැබූ ඔහු වයස අවුරුදු දහහතරේදී රට නිදහස් කර ගැනීමේ උදාර අධිෂ්ඨානයෙන් නිවසින් පිටව යයි.

" විශේෂයෙන් ආර්ථික අර්බුධය හමුවේ ලංකාව දඟලද්දී මගේ මතකයට නැගුණේ උතුරු කොරියානුවන්ය. ස්වභාවික විපත් නිරතුරුව ඇතිවන සම්පත් අඩු රටකි. සාමුහිකව එම විපත් වලට මුහුණ දී රට කඩිනමින් ගොඩ නගන අයුරු මම සියැසින් දුටුවෙමි..."

උතුරු කොරියාව පිළිබඳව සිංහල භාෂාවෙන් ලියවුනු වෙනත් පොත් නොමැත. වෛද්‍ය පුෂ්ප රන්ජන් මහතාගේ උත්සාහය අතිශයින් අගය කළ යුතු අතර නොදන්නා දේශයකට අපව කැන්දාගෙන යන අපූරු චාරිකාවකි.

සොඳුරුතම ප්යෝන්යන් රාත්‍රිය 

 කර්තෘ ; වෛද්‍ය පුෂ්ප රන්ජන් විජේසිංහ මහතා 

ග්‍රන්ථ ප්‍රකාශන 

මිළ : රු.750.00

නිලක්ෂි බණ්ඩාර.

19/10/2024.