Friday, October 18, 2024

තවුස් දේශය දුටුවෙමි..... අත්වින්දෙමි.... සොඳුරුතම ප්යෝන්යන් රාත්‍රිය - වෛද්‍ය පුෂ්ප රන්ජන් විජේසිංහ මහතා

 


වෛද්‍ය පුෂ්ප රන්ජන් විජේසිංහ මහතා විසින් රචිත සොඳුරුතම ප්යෝන්යන් රාත්‍රිය , උතුරු කොරියාවේ සේවය සඳහා වෛද්‍යවරයකු , සිවිල් සේවයේ නිළධාරියෙකු ලෙස පත්වීමක් ලැබ , වසර තුනක් එහි ජිවත් වීමේදී මුහුණ පෑ අත්දැකීම් වල එකතුවකි. දේශ සිමා හරහා යාමේදී මෙන්ම රට තුළ ලියාපදිංචි වීමට අනුගමනය කළ යුතු වැඩපිළිවෙල ,ගුවන් ගමන් පිලිබඳ විස්තර මෙම රටට ඇතුළු වීමේදී ආධුනිකයෙකුට ප්‍රයෝජනවත් වන තොරතුරුය. එරට ප්‍රවාහන , විදුලි සංදේශ ,රාජ්‍ය වැනි සේවාවන් වෙනත් ආසියාතික රටවල් වලට වඩා කොතරම් වෙනස්දැයි කතුවරයා පැහැදිලි කරයි.

රුසියාව,  ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකම අධ්‍යාපනික කටයුතු සඳහා යුනිසෙෆ් ආයතනයේ සේවය කර ඇති පුෂ්ප රන්ජන් මහතා ඔහු තුළ විදේශ රටක් පිලිබඳ ඇති දැනුමද චිත්තකර්ශනිය ලෙස ඉදිරිපත් කරයි.සිමා මායිම් වලට මධ්‍යයේ  වුවත් , ඔහු එහි සතුටින් කාලය ගත කරයි. විදේශිකයෙකුට උතුරු කොරියාවේ වැසියෙකු තබා තමා සමග සේවය කරන අයකු වුවද ඇසුරු කිරීමට සම්බාධක ඇත. එම ඇසුර නිබඳවම පරීක්ෂණයට ලක්වේ.

ජපන් අධිරාජ්‍යවාදී පාලනයෙන් පසු උතුරු කොරියාවේ ඇති වූ දේශපාලනික ආර්ථික ,සංස්කෘතික සහ ජනගහණය අධික ප්‍රදේශ වල පැල්පත් ජනාවාස සංස්කෘතිය කතුවරයාගේ අවධානයට ලක්ව තිබේ. සත්‍ය වශයෙන්ම ජපන් යුද්ධය නිසා පොලවට සමතලා වී ගිය ප්යෝනියන් නගරය පිළිබඳ කතාන්දරය අපේ රටේ ජනතාවට ආදර්ශයකි.

ජපන් සහ ඇමරිකානු අධිරාජ්‍යවාදයට එරෙහිව සටන් කල ජනරාල් කිංග් ඉල් සුං වීරයා වසර විසි හතක් පුරා වැතිර සිටින " කුම් සුසම් මාලිගය " පිලිබඳ කතුවරයා ඉදිරිපත් කරන විස්තරය අපුරුය.ගුරුවරයකුගේ පුතෙකු ලෙස සාමාන්‍ය පවුලක උපත ලැබූ ඔහු වයස අවුරුදු දහහතරේදී රට නිදහස් කර ගැනීමේ උදාර අධිෂ්ඨානයෙන් නිවසින් පිටව යයි.

" විශේෂයෙන් ආර්ථික අර්බුධය හමුවේ ලංකාව දඟලද්දී මගේ මතකයට නැගුණේ උතුරු කොරියානුවන්ය. ස්වභාවික විපත් නිරතුරුව ඇතිවන සම්පත් අඩු රටකි. සාමුහිකව එම විපත් වලට මුහුණ දී රට කඩිනමින් ගොඩ නගන අයුරු මම සියැසින් දුටුවෙමි..."

උතුරු කොරියාව පිළිබඳව සිංහල භාෂාවෙන් ලියවුනු වෙනත් පොත් නොමැත. වෛද්‍ය පුෂ්ප රන්ජන් මහතාගේ උත්සාහය අතිශයින් අගය කළ යුතු අතර නොදන්නා දේශයකට අපව කැන්දාගෙන යන අපූරු චාරිකාවකි.

සොඳුරුතම ප්යෝන්යන් රාත්‍රිය 

 කර්තෘ ; වෛද්‍ය පුෂ්ප රන්ජන් විජේසිංහ මහතා 

ග්‍රන්ථ ප්‍රකාශන 

මිළ : රු.750.00

නිලක්ෂි බණ්ඩාර.

19/10/2024.

No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........