තාරකාවෙන් මග අසා නව කතාව චිරංජි රණතුංග මහත්මිය විසින් රචිත තම දෛවයට අභියෝග කල එඩිතර තරුණියක් වටා ගෙතුණු අපුර්ව කෘතියකි. "අනෙකුත් රටවල් අඟහරු තරණය කරද්දී අපේ රටේ මිනිස්සු තවමත් අඟහරුට වැඳ වැටේ. අපල ගෙවී යන්නැයි කන්නලව් කරයි.අහසේ පාවෙන ගල් කුළුවලට අපගේ දෛවය තීරණය කල හැකිද?
කතුවරිය විසින් මෙම පාරම්පරික විශ්වාසය අභියෝගයට ලක් කරයි.
ජිවන මාවත වෙනස් කරමින් යන මිනිස්සු ජීවිතය ජයගනී.
සුද්දී මැණිකේ හෙවත් කිත්මිණි යමක් කමක් ඇති පවුලක දැරියකි.දෙමව්පියන් උසස් රැකියාවල නියුතු වේ.කුඩා කල ඇයගේ හඳහන බැලූ ජෝතිශ්‍යවේදියා පැවසුවේ පියාටත්, පවුලටත් ඇයගේ උපතින් අපල උපද්‍රව ඇතිවන බවයි. එක කුස උපන් අක්කත් අයියත් ඇයට වෙනස්කම් වලට බඳුන් වන සුද්දිට මවගේ ආදරයද ලැබෙන්නේ පියාට හොරෙනි.
සීයාගේ ආදරය සෙනෙහස මැද දිවි ගෙවන ඇය ගැන සොයා බලනුයේ සියා සහ නිවසේ මෙහෙකාරිය පමණි.උසස්පෙළ විභාගයෙන් පසු රැකියාවට යන මෙම තරුණියගේ පෙම්වතාවද පියා විසින් කේන්ද්‍රයේ ගැටලුව ගැන පවසා ඇයගෙන් වෙන් කරයි. පියා විසින් ඇයට වඩා වයසින් බෙහෙවින් වැඩි කණවැන්දුම් පිරිමියකුව යෝජනා කරන්නේ මේ අතරතුරදීය. එම අවස්ථාවේදී සීයාගේ උපකාරය ඇතුව ඇය නිවසින් පිටවේ. දකුණු දෙසට යන ඇය ඇයගේම දැන්වීම් ප්‍රචාරණ ආයතනයක් අරඹන්නේ ඇයගේ ඉරණම වෙනස් කිරීමට ප්‍රථම අදියර අරඹමිනි.
කතාව පුරාවට කතුවරිය විසින් සුද්දිගේ මානසික ඝට්ටනය නිරුපණය කරන්නේ පාඨක හදවත් තවත් සංවේදී කරමිනි.මෙම තත්වය මට නිතැතින්ම සිහිපත් කලේ කේන්දරයේ යහපත්කම් හේතුවෙන් තම පියාගේ මරණිය තර්ජනයන්ට පවා ලක්වූ එක්තරා ජනප්‍රිය නිළියකි.
අවසානයේ ඇයගේ ඉරණම කුමක් වේවිද?
තාරුකා සහ ග්‍රහයන් අභිබවා ඇය ජිවිතය ඉදිරියට කෙසේ ගෙනියයිද ?
ඇයගේ අනාගතය කෙසේ විසඳෙයි ද ?
හිමිදිරි පාන්දර රුපවාහිනියේ හා ගුවන් විදුලියේ ප්‍රචාරය වන ලග්න පලාපල වලට අතොරක් නැතුව සවන් දී අපි දවස අරඹමු. දවස හොඳ බැව් කියති.නරක බැව් කියති. යෙදිය යුතු ප්‍රතිකර්ම , පුද පුජා කියති. උදේ ආහාරය වත් නොගෙන කිරි තේ කෝප්පයකින් කුස පුරවන් රැකියාවට යාමට ගෙයින් එළියට බසින අපගේ ඔලුව කුරුවල් කිරීමට මොවුහු සමත් වෙති.
පලාපල විස්තර නියම වෙලාවට ලබා දීමට නොහැකි වුවහොත්, පැරණි විස්තරයක් නැවත ප්‍රචාරණය කරන අවස්ථාද ඇති බව අපි අසා ඇත්තෙමු.
ගලාගෙන යන සරළ බසින් ලියවී ඇති එකිනෙකට වෙනස් සිද්ධීන් සමුහයක සංකලනයක් වූ "තාරකාවෙන් මග අසා " නව කතාව නොනවත්වා රසවිඳිය හැකි ආදර්ශමත් නව කතාවකි.
//පලාපල විස්තර නියම වෙලාවට ලබා දීමට නොහැකි වුවහොත්, පැරණි විස්තරයක් නැවත ප්‍රචාරණය කරන අවස්ථාද ඇති බව අපි අසා ඇත්තෙමු// ලඟදී ඒ වගේ වැඩක් පත්තරයක වැඩ කළ කෙනෙක්ගෙන්ම අහන්නට ලැබුණා. ක්‍රමිකව මේ මිත්‍යා විශ්වාස සමාජයෙන් දුරැ වනතරමට හොඳයි!
ReplyDeleteඇත්ත ලොකු අයියේ.
Delete