Friday, November 25, 2022

ක්‍රිකට් පිටියේදී සාර්ථක චරිතයක් වූ ඉම්රාන් ඛාන් 'ට දේශපාලන පිටියේදී මොකද උනේ ?

 
තුන් ඉරියව්වෙන්ම ක්‍රිකට් පිටියේ දස්කම් දැක්වූ , 1970-1980 දශක වලදී පකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයකු මෙන්ම නායකත්වයද දැරූ ඉම්රාන් ඛාන් 1952 වර්ෂයේ ඔක්තෝම්බර් මස පස් වන දින ලාහෝර් වලදී ධනවත් පවුලක උපත ලැබිය.ඔහුගේ පවුලේ සාමාජිකයින් දෙදෙනෙක්ම පකිස්ථානු ක්‍රිකට් කණ්ඩායමට සම්බන්ධවී තිබීම තවත් විශේෂත්වයකි. ලාහෝර්හි Wore ester Royal Grammar විදුහලේ සහ Aitchison විදුහලෙන් අධ්‍යාපනය ලැබූ ඔහු එක්සත් රාජධානියේ Oxford විශ්ව විද්‍යාලයේ දර්ශනය , දේශපාලන විද්‍යාව සහ ආර්ථික විද්‍යාව හැදෑරුවේය.

ශිෂ්‍ය අවධියේත් , ඉම්රාන් පකිස්ථානයේදී මෙන්ම එක්සත් රාජධානියේදී ක්‍රිකට් කණ්ඩායම් වල ක්‍රීඩා කළ අතර , පළමු වරට 1971 දී පකිස්තානු ක්‍රිකට් කණ්ඩායමට එක්විය.1982 දී පකිස්තානු ක්‍රිකට් කණ්ඩායම් නායකත්වය හොබවමින් , ලෝක කුසලාන ක්‍රිකට් ක්‍රීඩාවලියේදී එංගලන්ත කණ්ඩායම පරාජය කිරීමට සමත් විය.ඔහු මෙම කාලය තුළ රිචර්ඩ් හැඩ්ලි , ඉයන් බොතම් ,කපිල් දේව් වැනි ක්‍රීඩකයින්ට සමව සිටි බව ක්‍රිකට් විචාරකයෝ පැවසුහ.

ක්‍රීඩා ජීවිතයේ අවසන් වර්ෂ දහය ඉම්රාන් වඩාත්ම දස්කම් දැක්වූ කාලසීමාව වූ අතර , ටෙස්ට් තරඟ 51 කට සහබාගි විය .පන්දුවට පහර දීමේ සාමාන්‍ය වේගය 50ක් සහ පන්දු යැවීමේ වේගය 19ක සාමාන්‍යයක් පවත්වා ගැනීමට ඔහුට මේ කාල සීමාවේදී හැකි විය.ඔහු ලබා ගත් වාර්තා අතර හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස 8 වතාවක්ද , ක්‍රීඩකයන් අතරින් තේරීමේදී 4 වන ස්ථානයටද , ඉනිමකදී ලබා ගන්නා ලකුණු අතරින් 9 වෙනි ස්ථානයටද , තරඟ 8 කදී ක්‍රිකට් නායකයා ලෙස කටයුතු  කරමින් හොඳම නායකයා ලෙස 2වන ස්ථානයද වාර්තා කිරීමට  සමත් විය.මේ අතර 1992 දී ලෝක කුසලානය පකිස්ථානයට ලබා දීමට නායකයකු ලෙස ඔහු සමත් විය.

ක්‍රිකට්  ක්‍රීඩාවට ද ,දේශපාලන වේදිකාවට ද ප්‍රිය කළ ඔහු මානව හිතවාදියකුද වූ අතර , තම මෑණියන් සිහිවීම පිණිස  Shaukat Memorial Hospital රෝහල් සංකීර්ණය ඉදි  කිරීමේ කටයුතු වලටද පුරෝගාමිත්වය ලබා දෙන ලදී.

පසුකාලීනව ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගත් ඉම්රාන්  අවුල් සහගත ගැටළු වලට මුහුණ දෙමින් සිටි පකිස්තානයේ දේශපාලන පිටියට පිවිසි අතර එකළ පවතී අදුරදර්ශී පාලනය විවේචනයට ලක් කළේය. 1996 දී Tehreek -e- Insaf පක්ෂය ඇරඹි අතර පකිස්ථානයේ එවකට ජනාධිපති ධුරය හෙබවූ පර්වේස් මුෂාරෆ් ට විරුද්ධව ක්‍රියා කළේය.තරුණ කොටස් වල සහය ඔහුට ලැබුන අතර 2012 දී පකිස්ථානයේ ජනප්‍රියම දේශපාලන තරුව බවට පත්විය.2018 අගෝස්තු මාසයේදී ඔහු අග්‍රාමාත්‍ය පදවියට පත් වන විට පකිස්තාන ගෙවුම් ශේෂ හිඟය සහ උද්ධමනය අහස් උසට නැග තිබුණි.මේ නිසා චීන- පකිස්තාන් ආර්ථික කොරිඩෝව ආරම්භ කිරීමට මුල පිරුවේය.ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් සහ චීනය , සෞදි අරාබිය, අරාබි එමිරෙටෙස් වැනි රට වලින් , තම රටේ පැන නැගී ඇති ගැටළු විසඳීමට ඔහු ආර්ථික ආධාර ඉල්ලා සිටියේය.

මේ අතර 2020 දී කොවිඩ් වසංගතය නිසා සෑහෙන කලක් රට වසා දැමීමට ඔහුට සිදුවිය.රටේ පැවති දුෂ්කර තත්වය ප්‍රයෝජනයට ගෙන PDM (Peoples Democratic Movement) පක්ෂය විරෝධතා දක්වන ලදී.ඔහු හමුදාවේ සහයෙන් පාලනය ශක්තිමත් කිරීමට උත්සහ කළේය.මේ අතරතුර 2022 දී විශ්වාසබංග යෝජනාවකින් අගමැති පුටුව අහිමි වූ පළමු පකිස්තානු අග්‍රාමාත්‍යවරයා ලෙස ඔහු ඉතිහාසයට එක් විය. 


මුලාශ්‍ර :

https://www.espncricinfo.com/player/imran-khan-40560

https://www.britannica.com/biography/Imran-Khan




No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........