අපි පුංචි කාලේ අපේ අම්මලා ,අප්පච්චිලා අපිට චූටි චූටි කතන්දර කියා දෙනවා ඔයාලට මතක ඇති. වීර කතා, චරිත කතා, සුරංගනා කතා , වන කතා, දේව කතා , විහිලු කතා, ජන කතා වගේ විවිධාකාරයේ කතන්දර ගොඩක් අපි ඉගෙන ගෙන තියෙනවා. නමුත් වර්තමානයේ ඉන්න කුඩා දරුවන්ට කතන්දර අහන්න ලැබෙන අවස්තාව බෙහෙවින්ම අඩු වෙලා තියෙනවා.
කතන්දර කියන්නේ දරුවන්ගේ මනසට උත්තේජනයක්.ඒ ඔස්සේ දරුවන්ගේ පරිකල්පන හැකියාව වැඩි දියුණු කරනවා. ඒ වගේම ප්‍රජානන කුසලතා වර්ධනයටත් ලොකු හේතුවක් වෙනවා. අතීතය පිළිබඳව මෙන්ම වර්තමාන නව ලෝකය ගැනද කුතුහලයෙන් විමසීමට දරුවෝ පෙළඹෙනවා. එලෙසම දරුවන්ගේ සංස්කෘතික ,සමාජීය සහ පාරිසරික දැනුමද මේ ඔස්සේ වැඩි දියුණු වීමට හේතුවක් වන බව නුතන ළමා අධ්‍යපනවේදීන් විසින් පවසබ කරුණකි.
ඒ වගේම කතන්දර කීමත් එක්තරා ඉගෙනුම් ක්‍රමයක් විදියටත් සලකන්න පුළුවන්.ඒ ඔස්සේ විවිධ චරිත නිරුපණය කරන්න , චරිත ගොඩ නගන්න ,කතාවක් ගොඩ නගන්න ,කතාවක් ඉදිරිපත් කිරීම වගේ හැකියාවන් මේ ඔස්සේ දරුවෝ පුරුදු වෙනවා.
ඒ වගේම දරුවන්ගේ මතක ශක්තිය වැඩි වීම, ඇහුම්කන් දීමට හුරු වීම. කතා කිරීමට හුරුවීම, භාෂා කුසලතාවය, විවිධ භාෂාවන් හැදෑරීමට උත්සහ කිරීම වැනි ප්‍රයෝජන රැසක් තියෙනවා.
දරුවන්ගේ වයස සදහා බුද්ධිමට්ටමට අනුව කතන්දර කීම සිදු කිරීමද වැදගත්වේ.මන්ද හැම දරුවාටම එක විදියටම කතන්දර රසවිඳීමේ හැකියාවක් නොමැති වීමයි. ළමා කතන්දර තුලින් දරුවන්ගේ මනස තුළ ප්‍රබෝධයක් ඇති කිරීම, ආත්ම ශක්තිය වර්ධනය කිරීම, ජයග්‍රහණයන් සඳහා ලඟා කර අපේක්ෂා මුදුන්පත් වීමද සිදුවේ.
මෙහිදී ළමයාගේ ප්‍රභවය පිළිබඳවද විවිධ කතන්දර අසන්නට ලැබේ.පැරැන්නන්ට අනුව ළමයා යනු දෙවියන්ගෙන් ලද දායාදයක් බව කියවේ.ඒ පිළිබඳව විවිධ රටවල ජනශ්‍රුති විමර්ශනය කිරීමෙන් පැහැදිලි වේ.
එලෙසම දරුවන්ගේ ස්වභාවය , දරුවන් සොයන ආදරය සෙනෙහස ,දරුවන්ගේ බුද්ධිමත් භාවය ,විශේෂ අවශ්‍යතා ඇති දරුවන් පිළිබඳවද විවිධ කතන්දර ගෙතී ඇත.
ඒ ඔස්සේ දරුවන්ගේ ස්වභාවය පිළිබඳව කතන්දරයක් අපි අද රස විඳිමු.
මෙයට අගනා නිදසුනක් ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර මහත්මිය විසින් රචිත ළමා අධ්‍යාපනය සඳහා කතන්දර පොතෙන් උපුටා ගනිමි.
අතීත මනුෂ්‍යාට නූතන මනෝ විද්‍යාඥායින්ට සහ අධ්‍යාපනඥයින්ට සේම දරුවන් පිලිබඳ දැනුම සහ අවබෝධය තිබුන බව පැහදිලිය. එයට හොඳම නිදසුනක් වන්නේ The Half Boy of Borneo කතාවයි .
ඔන්න එකෝමත් එක කාලයක බෝර්නියෝ දූපතේ හිටියා ළමයකුගෙන් බාගයක්. ඔහුට තිබුනෙ එක අතයි , එක කකුලයි ,එක ඇහයි .හරියටම ඇඟෙන් බාගයයි. ඒ හින්දා ගමේ මිනිස්සු ඔහුට කිව්වෙ බාග ළමයා කියලා .ඒ මදිවට ඔහුට තිබුනෙ නරක බාගය. ඒ නිසා ළමයගෙන් ගමේ මිනිස්සුන්ට බොහොම කරදර උනා.ඉතින් මේ ළමයා වැඩුණෙ බොහොම නරක විදියට .
මුළු ගමටම එපා උන මේ ළමයා කවදහරි වෙනස් වෙයි කියලා කල්පනා කළේ ඒ ගමේ හිටිය එකම එක ලස්සන ගෑණු ළමයෙක් විතරයි .
දවසක්දා මේ තරුණිය බාග ළමයා ට කතා කලා. ඔයා බාග ළමයෙක් විතරයි. මට කණගාටු ඒ
බාගයත් නරක බාගයක් වීම. මම විශ්වාස කරනවා මේ ලෝකේ කොහේහරි ඔයාගේ හොද බාගේ ඇති කියලා.ගිහින් ඒ බාගය හොයාගෙන ආපහු එන්න.මම කැමතියි ඔයාව කසාද බඳින්න , සම්පුර්ණයෙන් ළමයෙක් වෙලා ගමට ආවාම.
බාග ළමයා හොඳටම පුදුම උනා. මුළු ගමටම එපාවුන තමාව මේ සුන්දර ගෑනු ළමයා පිලිගත්තාම, තමන්ට කරුණාවෙන් කතා කලාම.මේ වුන දේ අදහගන්න බැරුව තරුණයගේ කඳුළු ආවා.
ඔයා තමා මට පලවෙනි වතාවට කරුණාවෙන් කතා කරපු එකම කෙනා. එය අදහගන්න බැහැ. මන් හෙටම යනවා.ගිහින් මගේ අනික් හොඳ බාගේ හොයාගෙන එනවා. ළමයා පහුවදාම තමන්ගේ හොඳ බාගේ හොයාගෙන ගියා. කවුරුවත් එහෙම කෙනෙක් ගැන අහලා තිබුනේ නැහැ. ඔහොම ගිහින් ගිහින් අන්තිමට දවසක රෑ වනාන්තරයක් මැද්දේ තියෙන ගම්මානෙකට මේ ළමයා ආවා.දැන් හොඳටම රෑ වෙලා. ගිනි මැලයක් වටේට ඉඳගෙන කතා කර කර ඉන්නවා ළමයා දැක්කා.
මෙහෙ ඉන්නවද බාග ළමයෙක්....? ළමයා ඔවුන්ගෙන් ඇහුවා.,මන් වගේ එක අතකුයි , එක කකුලකුයි තියෙන හොඳ කරුණාවන්ත කෙනෙක්????
මම දන්නේ නැහැ හොඳ ද කියලා.මිනිසුන්ගෙන් කෙනෙක් කිව්වා. ඔහු ඉර බහින පැත්තට අත දිගු කළා.අන්න අර පැත්තේ ගමක බාග ළමයෙක් ඉන්නවා කියලා මම අහලා තියෙනවා. මෙතන ඉඳලා දවස් දෙකක විතර දුර ගමනක්.
පහුවදාම උදේපිටත් වෙලා ඒ ගම හොයාගෙන ගියා.,ඔහු ගිහින් වැටුනේ විලක් ලග තියෙන ගම්මානයකට.ඒ ගමේ උදවිය කිව්වා එතන ඉඳලා තව දවස් දෙකක ගමනක් කියලා . ගිහින් ගිහින් අන්තිමට ඔහු මුහුද තියෙන ගම්මානයකට වැටුණා.
මේ ළමයා දුටු ගමන් ගමේ මිනිස්සු මෙන්න තවත් බාග ළමක් කියලා ඝෝෂා කරන්න ගත්තා. මේ ඉන්නේ අපේ බාග ළමයාගේ සහෝදරයා.
අන්තිමේදී ළමයි දෙන්නා හමු වුනා. එක්කෙනෙක්ගේ අතයි වම් කකුලයි , අනෙකාගේ දකුණු අත සහ දකුණු කකුලයි විතරයි.
පුළුවන්. ගමේ නායකයා කිව්වා. හැබැයි අර පේන කැලෑවට ගිහින් කෙනක් පරාද වන තුරුම සටන් කරලා ජය ගත්තාම. ප්‍රධානියා කිව්වා.ඔහු කැලෑවට අත දිගු කළා.
ඉතින් බාග ළමයින් දෙදෙනා කැලෑවට ගිහින් සටන් කරන්න පටන්ගත්තා. නොනත්වාම සටන් කළා. වැසි වැස්සා . අකුණු ගැහුවා . කුණාටු ආවා. ඒත් සටන නැවතුනේ නැහැ. අන්තිමේදී පහුවදා ඉර එළිය වැටෙන කොට පරිසරයම නිශ්චල වුනා.
හොඳ බාග ළමයා දිනලා . ගම් ප්‍රධානියා සතුටින් කිව්වා. ඒ දෙන්නා දැන් සම්පුර්ණ ළමෙක් වෙලා. සම්පුර්ණ ළමයා කැලාවෙන් එලියට ඇවිත් ප්‍රධානියාට ආචාර කළා. ගමේ කවුරුත් සතුටු වුනා.
ඒ ගමේම නවතින ලෙසට ඉල්ලිමක් කළා. ඒත් ඔවුන් නරක බාග ළමයා හිටිය ගම්මානෙට ඇවිත් පොරොන්දු උන පරිදි අර සුන්දර යුවතිය සමග විවහා වෙලා සතුටින් හිටියා.
ළමයා යනු යහපත් සහ අයහපත් ගුණාංගයන්ගෙන් සමන්විත චරිතයක් බව පැරැන්නන් වටහාගෙන තිබු බවට මෙය කදිම සාධකයකි. දඟ ළමයකු යහපතට හැරවීමට නම් " ආදරය සහ කරුණාව දැක්විය යුතුය.
නරක බාගය හොඳ බාගය හා සම්බන්ධ වුයේ තරුණියගේ කාරුණික වදන් නිසාය . මෙහි දැක්වෙන පරිණතියේ සංකේතයයි. ඔහු ගමට ආපහු පැමිණියේ අත්දැකීම් සහිත පරිිණත තරුණයකු ලෙසය.
මේ කතාව ඔස්සේ දරුවන්ට හොඳ නරක පිළිබඳව අවබෝධයක් ලබා දීම තම අරමුණට කෙසේ හෝ ලඟා වී එය සක්ෂාත් කර ගැනීම වැනි කරුණු පිළිබඳව මනා අවබෝධයක් ලබා දිය හැකිය.එලෙසම මානව සාරධර්ම සහ සමාජ සම්බන්ධතා පිළිබඳවද මේ කතාවෙන් අපට දරුවන්ට අවබෝධයක් ලබා දිය හැකිය.
No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........