Saturday, July 5, 2025

ක්‍රිස් ද බර්ග් ගේ ගේ එකම ඉරක් ගීතය - I cannot sleep tonight, I have you on my mind, Even the wind is calling your name. - The Same sun - Chris de Burgh

 



"The Same Sun" ගීතය ක්‍රිස් ඩි බර්ග් විසින් රචිත ගීතයක් වන අතර එය 1999 දී ඔහුගේ "Quiet Revolution" ඇල්බමයේ ඇතුලත් වූ තවත් අඅපූරු ගීතයකි."The Same Sun" ගීතය සම්භාව්‍ය Chris de Burgh යන  බැලඩ් වර්ගයේ ගීතයක් වන අතර මෘදු බැවින් ද හෘදයාංගම හැඟීමකින් ද යුතු ගීතයකි . 

මෙම ගීතය සීතල උදෑසනක උණුසුම් වැළඳගැනීමක හැඟීම දනවන අපුර්ව ගීතයකි.අප සැවොම එක් අහසක් යට එකම හැඟීමකින් ජිවත් වන බව දනවන ගීතයකි.මෙම ගීතයේ තනු නිර්මාණය සහ සංගීතය තුලින් අසන්නාට මනුෂ්‍යත්වයේ එක්වීම තුලින් වඩවන සැනසීමේ  සුවඳ සෙවීමට ආරාධනා කරන්නාක් බඳුය.

ගැඹුරු කාව්‍යමය ගුණයකින් සහ දාර්ශනික අගයකින් යුක්ත මෙම ගීතය සදාකාලික බැඳීම් පිළිබඳව අරුත්බර පණිවිඩයක් ලබා දෙයි.ඔහු කොතරම් දුරකින් සිටියදී පවා හදවතින් බැඳෙන දෙදෙනෙකු අතරදී සමීප බවක් දැනීම,ඔවුන් විසින් එකම අහස බෙදා ගැනීම ,ඔවුන්ගේ හදවත් තුළ ඇතිවන භෞතික වෙන්වීම ඉක්මවා යමින් ගොඩනැගී ඇති නොබිඳිය හැකි බැඳීමක් ගැන කතා කරයි.

බග්රගේ සුමට ගායනය බැඳීමක ඇති පිරුණු බව ඔස්සේ ගලයන ආදර හැඟීම ඔස්සේ ඔවුන් අතර හැඟීම්බර වාතාවරණයක් නිර්මාණය කරයි.

Though you are far away, I feel that you are near,
Whispering words from over the sea,
And if you wake in your night, remember that I will be here;

the same sun හි පද රචනය ලොව සෑම බැඳීමකටම සැනසීමක් සහ බලාපොරොත්තුවක් ලබා දෙන අතර, ආදරය යනු සැමවිටම දුරස්ථභාවයෙන් යුතු  බැඳීම් සෙනෙහසින් යා කරන මාර්ගයක් ලෙස දක්වා ඇත. හිරු නැගීම සහ සඳ බැබලීම ස්ථාවර වූ ස්වභාවික සංසිද්ධීන් ය. ඒ ඔස්සේ  මම ඔබේ සෙවනැල්ල මෙන් සිට ඔබව උණුසුම්ව තබමි," " බබළන එකම සඳ මෙන්... මම ඔබේ අන්ධකාරයේ දීත් ඔබ දෙස නෙත් යොමා සිටිමින් ඔබව ආරක්ෂිතව උදෑසන ආලෝකය වෙතට ගෙන එන්නෙමි යන අදහස ගෙන එයි.ඒ ඔස්සේ ඔහුගේ ප්‍රේමය කිසිවකුටත් නොවැලක්විය හැකි බවත් ඇයට ඔහු කෙරෙහි විශ්වාසය සහ ඔහුගෙන් ලැබෙන ප්‍රේමනීය උණුසුම පිළිබඳවත් සාක්ෂාත් කරයි.පෙම්වතියකට හෝ මිතුරියකට ,ඇයගේ ළබැඳියාගෙන් ලැබෙන නොසැලෙන ආදරය සහ රැකවරණය මුසු සෙනෙහසද තනි වූ මොහොතක සැනසිලිදායක සිතුවිල්ලකි.

And if you're crying inside, remember that I will be here.

 

ඔබ සිතින් හඬනවා නම් සිහිපත් කරන්න මම මෙතන සිටින බව යන පුනරාවර්තන ගීපද පෙළ මගින් ඔවුනොවුන්ගේ සිතෙහි ඇති කැපවීම, බලාපොරොත්තුව පිළිබඳව ගැඹුරින් අවධාරණය කරයි. කුමන ගැටලුවකදී හෝ අන්ධකාරය තුළදීත් සැමවිටම තම ආදරණිය යා වෙත ආලෝකයක් වන බව මේ ඔස්සේ අවධාරණය වන සත්‍යයයි.මෙය ගැඹුරු සංවේදනයක් දනවන වැකියකි. එය ප්‍රේමයම ගැන පමණක් නොව, ජීවිතයේ අත්විඳීමට ලැබෙන අභියෝග හරහා තවත් පුද්ගලයෙකුව රැකගනිමින් පෝෂණය කරන ආදරය සහ සෙනෙහසද විද්‍යමාන කරවයි.

එය හුදෙක් ප්‍රේමයම වීමට අවශ්‍ය නැත.මිතුදමක්, සොයුරු පෙමක් වුවද විය හැකියි. මෙම චේතනාන්විත පුළුල් බව ශ්‍රාවකයින්ට ගීතයට තමන්ගේ සෑම සබඳතාවකම ප්‍රක්ෂේපණය කිරීමට ඉඩ සලසයි. එමඟින් එය විවිධ ආකාරයේ ගැඹුරු බැඳීම් වල ඇති සම්බන්ධතාවයන් සමගින් ගැඹුරින් අනුනාද වේ. ඔහුට අවශ්‍ය වූයේ එය "මගේ ගීතය" නොව "ඔවුන්ගේ ගීතය" වීමටයි, මෙම ගීතය සෑම කෙනෙකුටම සෑම අයුරකින්ම අර්ථවත් හා සුවිශේෂි දෙයක් වීම දැකීමටයි.

ගීතයේ මෘදු තනුව හා මුසු වුන පියානෝ වාදනය මිනිස් සිත තුළ  සන්සුන් සේම චිත්තවේගීය හැඟුමන් වර්ධනය කරවන ගීතයකි.බග්ර් ගේ සියුම්  සුමට කටහඬ ගීතයේ තිව්‍රතාවය වැඩි කර ඇත. එය ප්‍රේක්ෂක ආකර්ෂණය දිනීමේ ප්‍රධානම හේතුවක් වන බව ගීතය අසන අපට හොදින්ම දැනෙන කරුණකි. 

Same sun, same moon,

Same sun, same moon,
Same soul, same heart,
Same world, same stars, you will be forever in my world;

 

සෙල්ටික් කවියෙන් ආභාෂය ලැබූ මෙම ගීතයේ පද රචනය, භෞතික වෙන්වීම නොතකා ඇතිවන  සමීපතාවය සංකේතවත් කරමින්, හිරු , සඳ වැනි සොබා දහමේ වස්තුන් ඔස්සේ දෙදෙනෙකු අතර  ඇතිවන බැඳීමක ගෞරවාන්විත බව සහ එක්වීම පෙන්නුම් කරයි.එමෙන්ම  ගැඹුරු චිත්තවේගීය හා කාව්‍යමය සන්ර්භධයක් සහිත ගීතයකි.හිරු තුලින් උණුසුම, බලාපොරොත්තුව සංකේතවත් කරන අතර සඳු ඔස්සේ බැඳීමක ඇති විශ්වීය නියතයක් පෙන්වයි. මොවුන් දුරක වෙන්ව සිටියත් රැයෙහි අහසේ දිදුලන සඳේ රැස් තුලින් මොවුන් මනසින් සම්බන්ධ වී ඒ ඔස්සේ ඔවුන් තුළ ඇතිවන හැඟුමන් බෙදාගැනීමයි.

 

ප්‍රේමය යනු සෑම පුද්ගලයකුම අත්විඳින විශ්වීය හැඟීමක් නිසාම මෙම ගීතය ප්‍රේක්ෂක හදවත් තුළ හර්දයාංගමව අනුනාද වේ.the same sun  හුදෙක් ගීතයක් නොවේ . එය හදවත් රන්හුයකින් බැඳී  නොමියෙන  හැඟීමක් සේම  සදාකාලික  සත්‍යයකි.

ආගම්  ,ජාතින් සහ තවත් කුලකයන්ට බෙදී වෙන් වී ඇති ලොවක The Same Sun ගීතය අප වෙනස් වීමට වඩා සමාන හැඟීමකින් යුක්ත බව හඟවන ආලෝකයේ ප්‍රතිමුර්තියකි. නූතන සංගීතයේ අවයාජ කළා කෘතියක් වන එය අපට හුස්ම ගැනීමට ජිවත් වීමට සෑම දෙයකටම ආලෝකය අවැසි සේම අප සියල්ලන්ම හිරුගේ දරුවන් බව සිහිපත් කරයි.එය  කොන්දේසි විරහිත  නියත හා නොසැලෙන ආදරයකට සාක්ෂියකි,එලෙසම ඔවුන්ගේ  වෙන්වීම නොතකා ඔවුන්ගේ සිතට සහ ආත්මයට  සැනසීම සහ පැවැත්ම ලබා දෙයි.

 

මට රැයෙහි නින්ද අහිමිය., ඔබව සිහිපත්වන  බැවින්

සුලගේ  ඔබේ නම රැව් දෙද්දී  පවා .

ඔබ දුරින් සිටියත්, මට දැනෙන්නේ ඔබ මා අසල බවයි.

සාගරයට ඉහලින් වදන්  මුමුණද්දී

ඔබ  රැයෙහි අවදිව සිටියහොත් , සිහි කරන්න මම මෙතන සිටින බව.

 

පිණිබිඳු සමගින් උදැසන හිරු නිම්නයට නැගෙනවා සේ

ඔබේ සෙවණැල්ල සමගින් මාද ඇවිදිවී ඔබව උණුසුම් කරමින්.

රැයෙහි  මා  ජනේලය  තුළින් දිලෙන සඳ හා සමව 

මම ඔබේ අන්ධකාරය දෙස දෑස් යොමමින් සිට, ඔබව රකිමින් උදැසන ආලෝකය වෙත ගෙනෙමි.

 

කොතැනද ප්‍රේමය පවතින්නේ මෙලෙසින් සදාකාලිකව හැමවිටම,

ඔබ අසල මම හිඳිවී.

කොතැනක හදවත් එකම ආත්මයක් ලෙස පවතින්නේද

මෙලොව කිසිවකුට අප වෙන් කල නොහැක.,

ඔබ සිතින් හඬයි නම්  සිහිපත් කරන්න මා මෙතන හිඳින බව..

එක ඉරක් , එක සඳක්

එකඉරක්, එක සඳක්

එක ආත්මයක්, එක හදක්

එකම ලොවක්, එකම  තාරකා ,ඔබ මගේ ලෝකයම වී හිඳීවී සදාකාලිකවම.

 

එක ඉරක් , එක සඳක්

එක ඉරක්, එක සඳක්

එක ආත්මයක්, එක හදක්, අහ ඔබට මම ආදරෙයි

එකම ලොවක්, එකම  තාරකා, ඔබ මගේ හදෙහි රැඳෙවී සදාකල්හිම.

I cannot sleep tonight, I have you on my mind,
Even the wind is calling your name,
Though you are far away, I feel that you are near,
Whispering words from over the sea,
And if you wake in your night, remember that I will be here;

And like the same sun that's rising on the valley with the dawn,
I will walk with your shadow and keep you warm,
And like the same moon that's shining through my window here tonight,
I will watch in your darkness, and bring you safely to the morning light;

Where there is love like this, forever, for all time,
I will be there wherever you are,
And where there are hearts that live together in one soul,
Nothing on earth will keep us apart,
And if you're crying inside, remember that I will be here;

And if you're crying inside, remember that I will be here;
And like the same sun that's rising on the valley with the dawn,
I will walk with your shadow and keep you warm,
And like the same moon that's shining through my window here tonight,
I will watch in your darkness, and bring you safely to the morning light;

Same sun, same moon,
Same sun, same moon,
Same soul, same heart,
Same world, same stars, you will be forever in my world;

Same sun, same moon,
Same sun, same moon,
Same soul, same heart, oh, I love, I love you, I love you,
Same world, same stars, you will be forever in my heart.

 

Album: Quiet Revolution

Released: 1999

Artist: Chris de Burgh

Genres: PopRock

 

නිලක්ෂි බණ්ඩාර.

2025/07/05.

 

Friday, July 4, 2025

තසායි ගේ මැටි බඳුන - ග්‍රේස් පි මූන් - පරිවර්තනය -සේනානි ධර්මරත්න මහත්මිය.


ඉන්දියාවේ කුඩා ගම්මානයක විසු තසායි නම් දැරිය වටා ගෙතුණු මෙම කතාව බාල වැඩිහිටි බේදයකින් තොරව සියල්ලන්ටම කියවිය හැකි රසවත් ළමා කතාවකි. මෙම කතාව පරිවර්තනය කරලා තියෙන්නේ සේනානි ධර්මරත්න මහත්මිය විසිනුයි.

අනිකුත් දරුවන් මන් සැපපහසු ජිවිතයක් තසායි ට හිමි වුනේ නැහැ. ඇයට හැම දිනකම වගේ  තම මවත් සමග ගොවිපලේ වඩා රැසක් කරන්න තිබුනා.සොබා සෞන්දර්යයට ප්‍රිය කරපු තසායි ඒ වැඩ කලේ හරිම ආසාවෙන්.ඇයට ගොවිපලේ වැඩ කරද්දී වෙහෙස නොදැනුනේ ඇය අසාවෙන් ඒ වැඩ කරපු නිසා.

කතාව පුරාවටම රැකෙන සරල බස් වහර නිසාම කතාව රසවිඳීම කිසිම බාධාවකින් තොරව කරගෙන යන්න පුළුවන්.  තසායිගේ මැටි බඳුන කියවගෙන යද්දී ඒ කතාව හිතී මැවෙනාකාරයෙන් ලිවිම පරිවර්තිකාව වුන සේනානි මහත්මියට නිසඟව උරුම වුන අපුරු දක්ෂකමක්,මේ පොතේ ඉතාමත් අලංකාර සිතුවම් පෙළක්ම දක්නට ලැබෙන අතර එම සිතුවම් නිර්මාණය කරලා තියෙන්නේ ප්‍රියංජන් සුරේෂ් සිල්වා මහතා විසින්.

තසායි කියන්නේ ඇයගේ වයසේ අනික් දරුවන්ට වඩා හිත ශක්තිමත් නුවණැති, අභියෝග වලට මුහුණ දෙන්න කැමැති අපූරු ගෑණු ළමයෙක්.ඒ වගේම තමන්ගේ වගකීම් හරියටම ඉෂ්ට කරනවා. ඒ නිසාම එයා අම්මට කූඩ වියන්න කොළ හොයාගෙන එන අතරේ රහස් තැනකින් හමුවුන අමුතුම වර්ගයේ මැටි ජාතියෙන් මැටි බඳුනක් නිර්මාණය කරන්න ගත්තේ. 

කුඩා දරුවන්ට තම ජිවිතයට ගොඩක් අගනා පාඩමක් රැසක් ඉගෙන ගන්න පුළුවන් කතාවක් විදියට තසායිගේ මැටි බඳුන පොත මම දකිනවා. අභියෝග ඉස්සරහා බය නැතුව ජිවිතෙට මුහුණ දෙන්නේ කොහොමද කියල හරිම අපුරුවට මේ කතාවෙන් පාඨකයින්ට පෙන්නලා දෙනවා.

ඉතින් අවසානය මොකක් කියලා මම  කියන්නේ නැහැ.ඔයාලත් මේ තසායි කියන  අපුරු ගෑණු ළමයාගේ කතාව කියවලම බලන්න කොතරම් ලස්සන අවසනයක්ද තියෙන්නේ 

නිලක්ෂි බණ්ඩාර.
2025.07.04 

Thursday, July 3, 2025

මඩොල් දූව - ලේඛක මාර්ටින් වික්‍රමසිංහයන්


 දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කය පදනම්ව රචිත මඩොල් දුව මාර්ටින් වික්‍රමසිංහයන්ගේ නිර්මාණ අතර ප්‍රමුඛ නිර්මාණයකි. යොවුන් වියේ සිටින යෞවනයන් දෙදෙනෙකු වටා ගෙතුණු මෙම කෘතිය ත්‍රාසය වීර්ය රසය උපද්දවන අපුරු නිර්මාණයකි. ශ්‍රී ලංකාවේ මුහුදුබඩ සංස්කෘතිය මැනවින් විදහාලන්නකි.

1890 ගණන් වල ශ්‍රී ලංකාවේ පැවති සමාජීය පසුබිම මැනවින් කියවන්නාගේ මනසට චිත්තරුප මැවෙන ආකාරයෙන් ලියා ඇත. එම යුගයේ මිනිසින්ගේ ජිවන රටාව සහ ආගමික පසුබිම මෙන්ම සංස්කෘතික වෙනස්කම්ද මැනවින් මඩොල් දුව කෘතිය ඔස්සේ නිරුපණය කර ඇත.

එමෙන්ම මේ කතාව ඔස්සේ මනෝ විද්‍යාත්මක වශයෙන්ද දරුවන් සහ වැඩිහිටියන් අතර ඇතිවන ඝට්ටනයන් මනාව නිරුපණය කර ඇත. දෙමව්පියන් සහ වැඩිහිටියන් දරුවන්ගේ සිතුවිලි තෙරුන් නොගෙන ඔවුන්ට අසීමිතව දඬුවම් කිරීමෙන් දරුවන් නොමගට යාම සහ වැඩිහිටියන්ගේ බසට අකීකරු වීම වැනි ගැටළු මැනවින් දක්නට ලැබෙන නව කතාවකි.ඒ බව මාර්ටින් වික්‍රමසිංහයන් පාඨකයාට ගෙනහැර දක්වන්නේ විසල් උපහාසයකින් සහ හාස්‍යජනක අන්දමිනි.

උපාලිගේ සහ ජින්නාගේ වීරත්වය යොවුන් වයසේ සිටින තරුණයන්ට උරුමවූ දෙයකි. තමන් දකින අත්විඳින දේ පිළිබඳව කුතුහලයකින් යුතුව සොයා බලා ඒ පසුපස හඹා යාම යෞවනත්වයේ ලක්ෂණයකි.උපාලි දඟකාර තරුණයකු වුවත් පසුකාලීනව තම වගකීම් හරිහැටි තේරුම් ගනිමින් ජීවිතය පිළිබඳව වැටහීමකින් යුතුව කටයුතු කිරීම අරඹයි.

මෙම කෘතිය පසුකාලීනව  දෙමළ, ඉංග්‍රීසි, ලන්දේසි, චීන, බල්ගේරියන් ඇතුළු ලොව පුරා භාෂා රාශියකට පරිවර්තනය කර ඇත. 1976 දී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් මෙම කථාව චිත්‍රපටයකට ද නඟා ඇත.

මඩොල් දුව තේමාවන් කිහිපයක් ඔස්සේ ගලාගෙන යන යොවුන් නව කතාවකි.මිත්‍රත්වය, යොවුන් වියේ ස්වාධීනත්වය , මිනිසා සහ පරිසරයේ ඇති බැඳීම ,සංස්කෘතීන්හි අනන්‍ය ලක්ෂණ සොබාදහමට එරිහිව මිනිසා අපට මේ ඔස්සේ දක්නට ලැබෙන තේමාවන් කිහිපයකි.

මාර්ටින් වික්‍රමසිංහයන් විසින් එකල ග්‍රාමීය ජිවිතයේ සංස්ථාපනය වුන  සංස්කෘතික වටිනාකම් මැනවින් මෙම කෘතියට එක් කර ඇත.උපසංස්කෘතින තුල භාවිත වචන සහ ක්‍රියාකාරකම් මනාවඅතිවිඳිය හැකි නව කතාවක් ලෙස මඩොල් දුව පෙන්වා දිය හැකිය. ටීටර් නාට්‍ය වැනි සංස්කෘතික සම්ප්‍රදායයන් පිළිබඳව අපුර්ව ලෙස මෙම කතාව ඔස්සේ පාඨකයා මනසට ලංකර ඇත.

ශ්‍රී ලංකාවේ ටොම් සෝයර්" ලෙස නම් කරන ලද මඩොල් දුව  1947 සිට පිටපත් මිලියනයකට වඩා අලෙවි වී ඇත.  මාක් ටිවෙන් රචිත ටොම් සෝයර් කතාවට සමාන වූ සම්භවයකින් යුක්ත උපාලිගේ සහ ජින්නාගේ මෙම වෘත්තාන්තය  ,නායකත්වය, යොවුන් වියේ දඟකාරත්වය ගැබ්වුණ අපුර්ව යොවුන් නව කතාවක් ලෙස හැඳින්වීමට හැකිය.ජින්නා තුලින් උපාලි කෙරෙහි ඇති නොසැලෙන පක්ෂපාතිත්වය සංකේතවත් කරයි.


එමෙන්ම ඉන්දියාවේ ආර් කේ නරයන්ගේ ස්වාමි සහ මිතුරන්, රොබර්ට් ලුවිස් ස්ටීවන්සන් රචිත ට්‍රේෂර් අයිලන්ඩ් (නිධන් දුපත ) වැනි යොවුන් නව කතාවන්හි ගැබ්වී ඇති යොවුන් වියේ නිර්භීත බව, කුතුහලය අවධි කරගනිමින් යෙදෙන ක්‍රියාන්විතයන් මඩොල් දුව කෘතිය ඔස්සේ  ද ඉතාමත් අපුර්ව ලෙස පාඨකසිත් සතන් වලට ලං කර ඇත.

ඔහුගේ ජිවිතයට කිඳා බැස තිබුණු කැරළිකාර බව  සංවේදනාත්මක බවකට පසුකාලීනව හැරෙන ආකාරය තම පියාගේ අසනීප තත්වයත් සමග වෙනස් වෙන ආකරයෙන් පිළිඹිබු කරයි.

එමෙන්ම සමාජයේ වැඩිහිටියන් අතර ඇති පන්ති බේදය උපාලි විසින් කඩා විසුරුවා හරින අයුරු ජින්නා සමග පවතින මිත්‍රත්වය ඔස්සේ මැනවින් විදහලනු ලබයි.

පසුකාලීනව 1976 වසරේදී  ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතා විසින් මඩොල්දුව චිත්‍රපටය ට නැගු අතර ලංකාව පුරා ප්‍රේක්ෂකයින් ගේ ජනාදරයට පත් විය.

නිලක්ෂි බණ්ඩාර 

04/07/2025.

ශ්‍රී ලාංකීය බයිලා සංස්කෘතියේ අනන්‍යතාවය එම් එස් ප්‍රනාන්දු

 


ලාංකීය සංගීත ඉතිහාසය විවිධ මානයන් ඔස්සේ විහිදී ගිය අතර බයිලා සංගීතය ද එහි සුවිශේෂී ස්ථානයක් ගනියි. මහගමගේ සැම්සන් ෆර්නැන්ඩු විශ්වීය ලෙස ලාංකීය ජනතාවගේ හද දිනු ගායකයෙකි.එමෙන්ම සංගීත ලෝකයේ නොමැකෙන සලකුණක් තැබූ නිර්මාණකරුවෙකි.බයිලා චක්‍රවර්තී යන නාමයෙන් පිදුම් ලද ඔහු සිංහල දමිළ මෙන්ම ඉංග්‍රීසි මැලේ යන බහු භාෂා වලින් තම ප්‍රේක්ෂකයින්ම රසවත්  ගායනයෙන් පිනවන ලදී.විවිධ සමාජ පන්ති ඔහුගේ නිර්මාණ වලට පාදක වූ අතර දශකහතරක් පුරාවට එම ඔහුගේ ගායනය ඉතාමත් ජනප්‍රියව අසන්නන් අතර නිම්නාද විය.

1936 මාර්තු 4 වන දින මොරටුවේ උපත ලැබූ  එම් එස්  ප්‍රනාන්දු, ලැරොන් ප්‍රනාන්දු සහ ලිලී ගෝමස්ගේ වැඩිමහල් පුත්‍රයා විය113. ඔහු අධ්‍යාපනය ලැබුවේ වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් සහ දෙහිවල ක්‍රිස්තු දේවස්ථාන විද්‍යාලයෙනි.

වර්ෂ 1950 පමණ කාලය වන විට රට අභ්‍යන්තරයේ මුහුදුබඩ ප්‍රදේශ වල සිඝ්‍රයෙන් වාද බයිලා කලාව ප්‍රචලිත  විය. සහජ ආභාසයක් නිසා දෝ සැම්සන් ගේ සිරුරේ රුධිරය ලෙස සංසරණය වුයේ බයිලා කලාවයි. ඒ නිසාම කුඩා කාලයේ [පටන්ම ප්‍රදේශය අවට පවත්වනු ලබන සියලු බයිලා තරඟ නැරඹීම හා ඇසීම හේතු කොටගෙන ඉන් ලැබූ උත්තේජනයෙන් කුඩා සැම්සන් තනිවම බයිලා පද ගැට ගසන්නට පුරුදු විය. ඉතා ක්ෂණිකව බයිලා පද ගෙතිමටත්, චතුර ලෙස ගායනා කිරීමටත් සනිට උපතින්ම හැකියාව ලැබුණි. 

"පිටු අංකය 255"
එම් එස් The Magnificent samson" අශෝක කුලතුංග.
    
කුඩා කාලයේ පටන්ම එම් එස් බයිලා ගායනයට හපන්කම් දැක්වූ බව තේරුම් ගත හැකිය.එදිනෙදා ශ්‍රී ලාංකිකයන්ගේ ජිවන අත්දැකීම් තම නිර්මාණ වලට තේමාව කර ගත් එම් එස් කලාත්මක නවෝත්පාදන රැසක් ගීත කරලියට දායාද කරන ලදී. ගී පද රචනය, සංගීතය, තනු නිර්මාණය ගායනය යන සකල විධ හැකියාවන්ගෙන් පරිපුර්ණ වූ එම් එස් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගතහොත් යුග පුර්ෂයෙකි.

දුගී සමාජ පන්තියේ සිට මහා මන්දිර වල පවා මිනිසුන්ගේ සිත් හොරා ගත් එම් එස්ගේ නිර්මාණ රැසකි. එමෙන්ම එම් එස් ගේ නිර්මාණ තුල ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික සංස්කෘතික සහ දේශපාලනික යන සෑම අංශයක් ම අන්තර්ගත වීම සුවිශේෂි කරුණකි.එමෙන්ම වාද බයිලාව  ලංකාවේ ජනප්‍රියම යුගයක සිංගල ගීත ක්ෂේත්‍රයට නව ආරක නැවුම් සංගීත රසයක් ගෙන දෙන නිර්මාණ එකතුවක්ම එක් කිරීමට එම් එස්ට හැකි විය.
එම් එස් ප්‍රනාන්දු විසින් වසර  21ක් තුළ චිත්‍රපට 75ක් ඇතුළුව භාෂා 5කින් ගීත 1000ක් ගායනා කිරීම වෙනුවෙන් 1973 වසරේදී කොළඹ කලා කවය විසින් ජනාධිපති ධුරයේ සිටි විලියම් ගොපල්ලව මැති තුමා අතින් " රන් නෙලුම මලක් ප්‍රධානය කිරීමට සංවිධානය කර තිබුණි.
පිටු අංක 44.එම් එස් The Magnificent samson" අශෝක කුලතුංග.

කොඩි ගහ යට (හතර දෙනාම සුරයෝ )
මල් යහනාවකි ලෝකේ (සුරේඛා )
මල් වයසේ මධු සිහිනේ (කස්තුරි සුවඳ)
පෙම් ලොව නින්දේදී (සංගීතා )
ඔහු විසින් ගැයූ අපුර්ව ගීත අතරින් කීපයකි.

එම් එස් ගේ නිර්මාණ වලට තමා ජීවන් වන පරිසරයේ සිදුවීම් බොහෝ දුරට පාදක කරගෙන ඇත.තමන් දුටු පුද්ගල චරිත අපුරු නිර්මාණයන්ට තේමාවන් කරගැනීමට ඔහුට තිබුනේ අපුරු කුසලතාවයකි.

ගල්කිස්ස හෝටලය අසල සිටි කුලී රථ රියදුරකු වූ ආතර් අයියා නම් පුද්ගලයා ඔහුගේ නිර්මාණ වලට එසේ සංකලනය වූවේ
"ආතර් අයියගේ කාර් එකට 
කුලිය ගෙවුවා හයර් එකට
ගමන අපේ මුළු සතිය පුරා"  මෙලෙසය.
ස්වභාව සෞන්දර්යයට පෙම් බැඳී එම් එස් ගොවියෙකි.ජන කවියේ අභාශයද ඔහුගේ බොහෝ නිර්මාණ වලට හේතු පාදක විය.ඔහුගේ නිර්මාණයන් අව්‍යාජය.යථාර්තවාදීය.නිර්ව්‍යාජය.

" කවදද කටු මැටි පැලක් තනන්නේ
කවදද අටුකොටු පුරවා ගන්නේ
කවදද රන්වන් කරල් කැපෙන්නේ 
එදාට මැණිකව පැලට ගෙනෙන්නේ."

ගොවිතැන් ආශ්‍රිතව ජනවහර ඉතා සංයමයෙන් යොදාගෙන ඇති අතර ජනශ්‍රැතිය පිලිබඳ එම් එස්ගේ ඇති අවබෝධයද මින් මොනවට පිළිඹිබු වේ.

එමෙන්ම සමාජය අත්විඳින්නට වන අත්දැකීම් සහ දකින සිදුවීම් එලෙසින්ම අව්‍යාජ ලෙස රසිකයින් වෙත ලඟා කිරීම එදා පටන් අදවන තෙක්ම රසික ජනාදරයට නිර්මාණ ඔස්සේ පත් වීමට හේතු වූ වැදගත්ම කාරණයයි. එමෙන්ම නිර්මාණයක් පරිපුර්ණ විය යුතු සියළුම ගුණාංගයන් පරිපුර්ණ වූ නිර්මාණයන් එකතුවකගේ අයිතිකරුවකු වීමට එම් එස්ට හැකිවුයේ එලෙසිනි. ඔහුගේ නිර්මාණ තුල ආදරය, සමාජයේ දක්වනට ලැබෙන ඛේදවාචකයන්ගේ සේම ලාංකීය දේශපාලනය පිළිබඳවද උත්ප්‍රසයට ලක් කරන්නේ ව්‍යංගවය.

"නරියා කපටි නව කපුටා දැනගෙන හිටියා
හොටේ තියෙන කේජු කෑල්ල අත්ත උඩ තියා
කකුලෙන් එය තද කරගෙන බිම වැටෙයි කියා 
කීප විටක් නාද කෙරුවා කාක් කාක් කියා.

සමාජය අප කොතරම් වෙනස් වීමට උත්සහ කලත් දේශපාලනයේ රැවටීම් වලට අසුවන ආකාරය අපුරුවට පෙන්වා දෙයි.

"ඇලඩින් ඇලඩින් පහන දීපන් 
රැකියාවක් ලැබුන මෙන්න අහපන්
නවක වැඩ කරන්න නෙවෙයි
පිටරට යන්න නෙවෙයි 
රැකියාවක් ලැබුනේ මෙන්න අහපන්.

එම් එස් ගේ ගී රචනා තුළින් ඔහු හදවතෙහි වැඩ සිටි උතුම් මිනිස් පුත්‍රයා ජනිත වන්නේ නිසර්ඝයෙනි/ඔහු ඇලඩින් ගෙන් පහන ඉල්ලන්නේ තමා වෙනුවෙන් නොව මේ රට වෙනුවෙනි. 

පිටු අංක 104. එම් එස් The Magnificent samson" අශෝක කුලතුංග.

මෙහිදී අශෝක කුලතුංගයන් විසින් එම් එස්ගේ ජිවන පුරාවෘත්තයම හදාරා මෙම ලිවිම සිදු කිරීම එම් එස් මැග්නිෆිකන්ට් කෘතියේ ඇති විශේෂත්වයයි.එම් එස් මැග්නිෆිකන්ට් ග්‍රන්ථය පර්යේෂණ ග්‍රන්ථයක් වන අතර එම් එස් ගේ සංගීත භාවිතයත් සමග ඔහුගේ නිර්මාණ සියල්ලේම නාමාවලියන් පවා ගුවන් විදුලි සංස්ථාවෙන්  සොයාගෙන මෙම කෘතියට අන්තර්ගත කර ඇත.ඔහු විසින් ගායනා කරන ලද  ගීත 300ක් මෙහි අන්තර්ගත වන අතර පද රචනා 196ක් ඇතුලත් වේ. එමෙන්ම  එම් එස්ගේ ජිවිතයේ විවිධ සිදුවීම් ඇතුලත් ප්පැරණි ජායාරුපද සංස්කරණයකින් තොරව කෘතියට ඇතුලත් කර ඇත්තේද එහි වටිනාකම සුරැකෙන ආකාරයෙනි.

වසර හතරක පමණ දිගු කාලයක් වැය කරමින් මෙම අසහාය නිර්මාණකරුවා පිලිබඳ සිදුකල අපුරු හෙළිදරව්ව වචනයෙන් කිව හැකි ප්‍රමාණයට වඩා වටිනාකමකින් සහ අගයකින් යුක්ත ක්‍රියාවලියක් බව මෙම පර්යේෂණ ග්‍රන්ථය අධ්‍යයන කරන සෑමදෙනෙකුටම වැටහෙන දෙයකි. 

ජීවත්ව සිටියදී නිසි ඇගයුමකින් පිදුම් ලැබිය යුතු අනගිබවනිය සංගීතඥයකු පිළිබඳව මෙලෙස ගෞරවාදරයට  ලක් කිරීම පිළිබඳව අශෝක කුලතුංග සොයුරාට හර්දයාංගම ස්තුතිය පුද කරන අතරම ඔහුගේ ඉදිරි නිර්මාණ කටයුතු වඩ වඩා සාර්ථකව පාඨකයින් වෙත ලඟා කිරීමට ශක්තිය ;ලැබේවායි හදවතින්ම සුබ පතමි !!

නිලක්ෂි බණ්ඩාර.
03.07.2025.



Wednesday, July 2, 2025

සිතුවිලි

 




ජිවිතයේ හමුවන සෑම කෙනෙකුම අපිට හිතන්න ,සවන් දෙන්න ,දෙයක් තෝරාගන්නේ කෙසේද යන්න ඉගැන්නුවා.නමුත් හදවත සමග බැඳිලා ජිවත් වෙන්න කියා දුන්නේ කවුරුන්ද ?අපට සිතේ ඇතිවන ආශාවන් අහම්බයකින් ඇති වන්නක් නොව අපට මාර්ගය දැකීමට නියමිත මාර්ගයක් වන්නටත් පුළුවනි.අපේ හදවත හැමවිටම පිළිතුර ගැන දනී.තිබෙන ගැටලුව වන්නේ අප හදවතට ඇහුම්කන් දෙන්නට සුදානම්ද යන්න පිළිබඳවයි.ඔබ ජිවිතයේ විනිශ්චයට ලක්වීමට සුදානම්ද ?ඔබව විනිශ්චය නොකරන තැනක්,පුද්ගලයෙක් ඔබ සොයනවාද?මගේ හිස්කම යනු හුදකලාවෙන් තොර වූ නිහඬතාවයයි. කලක සිට ආත්මය සහ ජීවිතය තුල කිඳාබැස ඇති සීත බව සිතට ගෙනෙන්නේ හුදකලාබවකි.එය සීත දිනයක උණුසුම ගෙන දෙන කෝපි කෝප්පයක්  බලාපොරොත්තුවෙන් සිටින මගියකු වැනිය.අනුකම්පාවක් බලාපොරොත්තු නොවෙමින්, හඬ ගසා හදවතේ වේදනාව නොපෙන්වමින් ඔබට ඔබවම සොයාගැනීමට අවස්තාවක් ලබා දෙන්නකි.


නිලක්ෂි බණ්ඩාර.

02/07/2025.

Sunday, June 29, 2025



කැලිගුලා අධිරාජ්‍යයාගේ කලාත්මක හැකියාවන් පිළිබඳව ඉතිහාසඥ සූටෝනියස් මෙසේ පැවසීය:"ගායනය හා නැටුම් තුළින් ඔහු කෙතරම් සතුටක් ලැබුවේද යත්, පොදු සංදර්ශනවලදී පවා ඛේදජනක රංගනයක් රංග දක්වන නළුවෙකු සමඟ, එම රංගනයේ ගීතයක් ගායනා කිරීමෙන් හෝ එම නර්තන ශිල්පියෙකුගේ චලනයන් අනුකරණය කිරීමෙන් වැළකී සිටීමට ඔහුට නොහැකි විය. එම චලන නිවැරදි කරමින් අඩුපාඩු පෙන්වා දෙමින් ඔහු ඔහුව අනුකරණය කළේය.ඔහු විටක රාත්‍රියේ පවා රංගනයේ යෙදුනි.ගීත ගායනා කරන ලදී. වරක් මධ්‍යම රාත්‍රියේදී ඔහු කොන්සොල්වරුන් තිදෙනෙකු මාලිගාවට  ගෙන්වා ඔහු ඉදිරිපිට අසුන් ගන්නට පවසා විසල් අනතුරක් බලාපොරොත්තුවෙන් බව අඟවා එක්වරම වේදිකාවට සුදුසු ඇඳුමෙන් විකටයෙක් ලෙස  සැරසී  නර්තනයක් ඉදිරිපත් කර පිටව ගියේය.


පුංචි කුමරු. යාඥාව - කර්තෘ ඇන්තනි ද සෙන්ට් එක්ස්පෙරි.

 


එක්ස්පෙරි විසින් යාඥාව කෘතිය රචනා කරන ලද්දේ ඔහුගේ ජිවිතයේ  අතිශය දුෂ්කර කාලවකවානුවකදීය.එය අපට ජීවිතය සම්බන්ධව වැදගත් දෙයක් සිහිපත් කරවයි.ඔහු විසින් දෙවියන්ගෙන් ඉල්ලා සිටින දේවල් පිළිබඳව අප මදක් නැවතී සිතිය යුතුය.

ස්වාමිනි ! මම ආශ්චර්යයන් හෝ මිරිඟුවක් නොව නමුත් සෑම  දිනක් සඳහාම  මට අවැසි ශක්තිය බලාපොරත්තු වෙමි.කුඩා පියවරයන් තැබීමේ කලාව මට උගන්වන්න.

මාව නිරීක්ෂණශීලි  සහ සම්පත්වලින් පිරුණු පුද්ගලයකු කරන්න,.එවිට එදිනෙදා ජීවිතයේදී අත්දකින, විවිධත්වයත් සමග  කරන සොයා ගැනීම් තුලින්  ලබන  අත්දැකීම් අතර මට කාලය ගත කිරීමට පුළුවන්ය. 

මගේ ජීවිතය සහ කාලය නිසිලෙස  කළමනාකරණය කර ගන්නේ කෙසේදැයි මට කියා දෙන්න. ඕනෑම අවස්ථාවකදී පළමුව වැදගත් වන දෙය සොයා ගැනීම සිදුකරන ආකාරය පිළිබඳව    පිළිබඳව මට සියුම් හැඟීමක් ලබා දෙන්න.

ජීවිතය මග හැර නොගෙන ජිවන ගමන යාමටත් ,දිනය නිසි ලෙස සැලසුම් කිරීමටත් ,ජිවිතයේ ඇති දුර  නැගිය යුතු සහ මදක් පසුබෑ යුතු අවස්තාවන්  දැකීමටත්, කලාව රස විඳීමට කාලය සොයා ගැනීමට අවශ්‍ය සංයමය ඇති කර ගැනීමට අවැසි බලය  ලබා දෙන ලෙස ඉල්ලමි.

සිහින දැකීම අපට ජීවිතය දිනීමට ආධාරකයක් නොවන  බව තේරුම් ගැනීමට මට උපකාර කරන්න. අතීතය පිලිබඳ සිතීම හෝ අනාගතය පිලිබඳ සිහින දැකීමට නොව මේ මොහොතේ ජිවත් වීම පිලිබඳ සිතීම වැදගත් බව තෙරුන් ගැනීම ට මට ශක්තිය ලබා දෙන්න.

ඔබ දන්නවා යමකුගේ මිත්‍රත්වය අපට කොතරම් ඇවැසිද යන්න.අප දෛවයේ ඇති මේ  සොඳුරුතම,මෘදු මටසිලුටු  ත්‍යාගයට මාව සුදුස්සකු කරන්න.  මාහට පුළුල් පරිකල්පන ශක්තියක් ලබා දෙන්න. එවිට නිහඬව සිට හෝ කතා කරමින් සුදුසු මොහොතක, සුදුසු තැනකදී කෙනෙකුට අවැසි උණුසුම මට ලබා දිය හැකියි .

පතුලේම සිටින පුද්ගලයින් වෙත ලඟා වී ඔවුන්ව තෙරුන් ගැනීමට  හැකි කෙනෙකු බවට මා පත් කරන්න.ජීවිතය මග හැරෙයි යන බිය මා වෙතින් තුරන් කරන්න. මා වෙනුවෙන් ප්‍රාර්ථනය කරන දේ නොව මා හට  සැබවින්ම අවැසි  දේ ලබා දෙන්න.  ජීවිතය දිනීමමේ කුඩා පියවර තැබීම  සිදු කරන අයුරු මට කියා දෙන්න.

Exupery "Prayer", written in one of the most difficult moments of his life, reminds us of the most important thing. We should all think about the things he asks for: "Lord, I ask not for miracles or mirages, but for the strength of each day. Teach me the art of small steps. Make me observant and resourceful, so that in the diversity of everyday life I can stop in time at discoveries and experiences that excite me. Teach me to properly manage the time of my life. Give me a subtle sense to distinguish the primary from the secondary.

I ask for the power of restraint and moderation, so that I do not flutter and glide through life, but wisely plan the course of the day, could see the heights and distances, and at least sometimes find time to enjoy art.

Help me understand that dreams cannot be a help. Neither dreams of the past, nor dreams of the future. Help me to be here and now and perceive this minute as the most important.

Protect me from the naive belief that everything in life should be smooth. Grant me a clear understanding that difficulties, defeats, falls and failures are only a natural part of life, thanks to which we grow and mature.

Remind me that the heart often argues with reason.

Send me at the right moment someone who has enough courage to tell me the truth, but to tell it with love!

I know that many problems are solved if you do nothing, so teach me patience.

You know how much we need friendship. Let me be worthy of this most beautiful and tender Gift of Destiny.

Give me a rich imagination, so that at the right moment, at the right time, in the right place, silently or speaking, I can give someone the necessary warmth.

Make me a person who knows how to reach those who are at the very bottom.

Protect me from the fear of missing something in life.

Give me not what I wish for myself, but what I really need.

Teach me the art of small steps."
The Little Prince. Prayer by Antoine de Saint-Exupéry’

අනුවර්තනය
 නිලක්ෂි බණ්ඩාර.
29/06/2025.

Saturday, May 24, 2025

මන් අමුතු පෙම්බරියක්. ප්‍රියංගිකා ශ්‍යාමලී මහත්මිය.


 කවිය යනු පුද්ගලයකුගේ හදවත කියවීමකි. තවත් අතකින් කිවහොත් ගසක තුරුපත් සැදී තවත් දවසක පස සරු කරන්නාක් මෙන් අනාගතයට සාරවත් යමක් එකතු කිරීමකි. ප්‍රියංගිකා ශ්‍යාමලී කිවිඳිය පරිසරය හා බැඳී ලිවූ ආදර වරුසා,ඊර්ශ්යා වලප  දේදුණු මැකෙයි වැනි කවි පෙළවල් කියවන විට මට මේ අදහස සිතට නැගුණි.

ඇය පෙරවදනින් අපට පවසන්නේ කුටුම්භය තුළදී ස්ත්‍රීත්වය මුහුණ දෙන ගැටළු, ඇගේ භූමිකාව සෑම කාන්තාවකටම පොදු ලක්ෂණ වලින් යුක්ත බවයි.පර්ල් එස් බක් ලේඛිකාව විසින් ලියන ලද සෑම ආසියානු කතාකටම හිමිවූ භූමිකාව නියෝජනය කරන සාරභූමි" නව කතාව මෙහිදී සිහියට නැගේ., 

"මන් අමුතු පෙම්බරියක් " කවි පෙළ සියළු දෝමන්නස්සයන් උසුලාගෙන සිනාසී මලක් මෙන් පිපිමට වෙර දරණ ගත පෙළන ගිම්හානයේ උණුසුමෙන් පවා සැනසුමක් සියන කාන්තාවන් පිළිබඳව විවරණයක්  කරයි.

එමෙන්ම "ප්‍රේමයේ ලුණු රහ "කවි පෙළ කාන්තාවන් සැමියාගෙන් බලාපොරොත්තු වන ආදරය නොලැබුන තැන, ඔහුගේ උපහාස අපහාස ඉවසන ආකාරය 

"ඇදලා අරගෙන අත

හදාගන්නට අමාරුවෙන් 

හිත" වැනි පද පේළි වලින් උපහාසයෙන් යුතුව රසවත් ආකාරයෙන් ඉදිරිපත් කරයි.

කාන්තා සිරුරු , මාතෘත්වය  ,රූපලාවන්‍ය , රතු තොල් , විවහා වූ පසු විශේෂයෙන්ම රතු පාට පොට්ටු තබන ගැහැණිය.... අනේකවිධ ලක්ෂණ වලින් යුක්තය.තවත් සිතීමට බොහෝ දේ ඇත.ප්‍රියංගිකා සොයුරිය "රතුපාට ගැහැණු " අනර්ඝ නිර්මාණයකි.

පවතීන දේශපාලනය ,එතුලින් ගිලිහි ගිය කාන්තා නිදහස වැනි සමාජයීය කරුණු සමහර තැනක ප්‍රියංගිකා කිවිඳිය විසින් වස්තු බිජ කොටගෙන ඇත.

"එයාට දහසයිලු හද සසළ කරවන මෙවැනි තවත් පුවතකි.මෙම අසාධාරණ කම් කොට නිදහස් වූ ආකාරය ප්‍රියංගිකා සොයුරිය විසින් තම කවියට පාදක කර ගනී. 

කවි පෙළවල් 43කින් යුතු මං අමුතු පෙම්බරියක් විවිධ විෂය පථයන් සහ මානයන් ඔස්සේ කරන සමාජ විවරනයකි.


නිලක්ෂි බණ්ඩාර.

24/05/2025.

Monday, May 19, 2025

භාෂා හරඹයෙන් පෝෂණය වුන මන්දාකිණියක කීපදෙනෙක් - කතෘ කසුන් සමරතුංග මහතා.

තී



තීරු ලිපියෙන් ,කවියෙන්, කෙටි කතාවෙන් ලේඛන  කළාවට එළඹුණු කසුන් සමරතුංග සෑම ශානරයක්හිම දස්කම් දක්වන කලාකරුවෙකි..මන්දාකිණියෙන් කිහිපදෙනෙක් ඔහුගේ පළමු නවකතාවව වන අතර මෙහිදීද අනිකුත් නිර්මාණවල දක්නට ලැබෙන නිර්මාණශීලි බව සේම වර්තමාන සමාජයේ දක්නට ලැබෙන අකටයුතුකම් මනාව හෙළිදරව් කරන්නකි.

මන්දකිණියෙන් කිහිප දෙනෙක් කතාව ඇරඹෙන්නේ මාධ්‍ය ආයතනයක ප්‍රධානියා වන චරිත පරණමානගේ සහ නවක ලේඛකයකු අතර ඇතිවන දෙබසක් ඇසුරෙනි. ඒ ඔස්සේ මාධ්‍යලෝකයේ ඇතුලාන්තයේ ඇති දෙබිඩි ක්‍රියාවලින් සහ රංගනයන්  හාස්‍යයට ලක්වන  ස්ථාන අපුරුවට එළිදක්වයි.එමෙන්ම සමාජයෙන් සැඟවුණු තොරතුරු රාශියක් හෙළි කිරීමට මේ ඔස්සෙ  කතුවරයා සමත් වී ඇත.

එම කතාබහ කතා ශෛලියෙන් ලියවී ඇත.මෙහි දක්නට ලැබෙන විශේෂත්වය වන්නේ චරිත කීපයක් වටා ගෙතුණු ලිවීමක් වීමයි.මුළු කතාවම ඒ ඒ පුද්ගලයින්ගේ කෝණයෙන් පාඨකයා වෙත ලං කරයි.

අතෘප්තිකර පවුල් ජිවිතයක් ගත කරමින් විවහා බැම්ම ආරක්ෂා කරගැනීමට නොව කෙසේ හෝ පවත්වාගෙන යාමට උත්සහ කරන කාන්තාවක් මෙම කතාවේ කතා නායිකාව වේ.සුපුරුදු ජිවන රටාව පවත්වාගෙන යාමට ඇයට ධනවත් ව්‍යාපාරිකයා සමග ජිවත් වීමට සිදුවේ.ස්ත්‍රිපුරුෂ පුද්ගල සම්බන්ධතා වල දුර්වලතාවයන්, දරුවන් අහිමි වීම් ,අසාර්ථක විවහා ජිවිත නිසා ස්වාමි පුරුෂයාගේ දින චරියාව නිසාත් , ව්‍යාපාරික කටයුතු සහ අසීමිත නිදහස පසුපස හඹා යන ගැහැණිය.... මෙම නව කතාව තුළ හමුවන ජල ප්‍රවහයන්ය.මෙහිදී විශේෂත්වය වනුයේ ඇය ගැන පාඨකයාට දැනගත්ත හැක්කේ විවිධ චරිත ඇයව දකින දෘෂ්ටිකෝණයෙණි.මෙම චරිත බොහොමයක් මාධ්‍යයට සම්බන්ධ අයයි.

ව්‍යාපාරික ලෝකයෙන් හෙම්බත් වන ඇය ඇතැම් විටෙක සමාජ සේවා කටයුතු වල යෙදෙයි.විශාල ධන පරිත්‍යාගයෙන් කටයුතු කරයි.අපට මෙහිදී ඩයනා කුමරියගේ චරිතය සිහියට නැගෙයි.  ඇය ද තම හීන අනුන් වෙනුවෙන් කැප කල කාන්තාවකි.

 වත්මන් සමාජයේ උද්ගතවී ඇති ගැටළු කිහිපයක් මෙහිදී කතුවරයා පාඨක දෑසට ලංකරයි. කාන්තාව පසුගිය කාලයේදී බොහෝ විට මත්පැන් භාවිතයට යොමු වන්නේ එක්කෝ ඉහල සමාජයේ සහ වතු ආශ්‍රිතව වාසය කරන්නන්ය. නමුත් වර්තමානයේ සමහර කාන්තාවන් පාසල් වියේදී තරුණ වියේදීත් මත්පැන් භාවිතයට යොමුව ඇත.ඒ නිසා ඇතිවන සමාජ පරිහානියද කතුවරයා ගේ දර්ශනයට ලක්ව ඇත.මත්පැන් භාවිතය නිසා පුද්ගලයින් වෙනත් මානයන්ට යොමුවන ආකාරය ලේඛකයා මනෝ විද්‍යාත්මකව විග්‍රහ කර ඇත.

විවහා කුටුම්භය තුලදී කාන්තාවන්ට තමන්ට ස්ථාවර ආර්ථික මට්ටමක් නැතිවිමේදී තම ආර්ථික ස්වාධීනත්වය අහිමිවන ආකාරය මැනවින් මෙහි පිළිඹිබු කර ඇත.එලෙසම දෙමාපියන්ගේ නිමක් නැති  නීතිවලට යටත්ව, ඔවුන්ගේ කැමැත්තට  අනුගතවන්නට සිදුවීම හේතුවෙන් ජිවිත ගමන තුළ දරුවන් කොතරම් අතරමංව අසරණ වනවාද යන්න මැනවින් පෙන්නුම් කරන මන්දකිණියෙන් කීපදෙනෙක් නව කතාව සමාජයේ සෑම පැතිකඩක් දෙසම පුළුල් විග්‍රහයකින් යුතුව රචනා කර ඇති බව පාඨකයාට මනාව තේරුම් යන කරුණකි.

කතා නායිකාවගේ පවුල් පරිසරය පිළිබඳව යම් කිසි ඉඟියක් තිබුණි නම් මෙවැනි චරිතයක් ගොඩ නැගීමට හේතුව තවත් පැහැදිලිවිමට ඉඩ තිබුණි. මේ ජිවිතයේ රසවත් තැන් සේම විවිධ හැලහැප්පිලි , ඝට්ටනයන් පිළිබඳව කතුවරයා රසවත් ලෙසත්, කතාව ගලායාමට පිටුවහලක් වන අයුරිනුත් යොදාගෙන ඇත.  කසුන් සොහොයුරා මන්දකිණියෙන් කිහිප දෙනෙක් නමැති නව කතාවෙන් ආලින්දයට විටින් විට විවිධ අමුත්තන් කැඳවාගෙන ඒම පාඨකයින්ට කුතුහලය දනවන කරුණකි. එය පාඨකයාට අපුරු අත්දැකීමක් මන්දකිණියෙන් කිහිපදෙනෙක් නවකතාව තුළින් ලේඛකයා ලබා දෙයි.මේ ඔස්සේ තත්කාලීන සමාජයේ සංකීර්ණ පැතිකඩ රාශියක් අපට දැකගත හැකිය.

125 ස් වැනි පිටුවේ ඇති මලිත්තගේත්  ජනිතගේත් කතාබහ ඔස්සේ කළා ලොව පවතින අඳුරු පැතිකඩයන් මනා ලෙස ඔප්නංවා පෙන්නුම් වන අවස්ථාවකි. සාහිත්‍ය ලොව සුදුස්සාට නිසිතැන නොලැබෙන බවත් පසුව ඔවුන් සුදුස්සන් ඉදිරියේදී දෙබිඩි චරිතයන් රඟදක්වන ආකාරයත් මේ ඔස්සේ මනාව පැහැදිලි වේ.

“ඒකිගේ පොත මරු මචං! හැබැයි මේක ඒකිගේ පළවෙනි පොතනේ. ඒක නිසා අපේ එයාට සම්මානේ දෙන්නේ නෑ. එයාට තව කල් තියෙනවනේ. අනික ඕකුන් එක පාර වැඩිය උඩ දාන්න හොඳත් නෑ. කට්ට කාලා එන්න එපැයි

උත්ප්‍රාසය දනවන ස්ථානද මෙහි නැතුවා නොවේ.මලිත්ත චන්දුලාට හිමි නමුත් නොලැබෙන සම්මානය පිළිබඳව පවසද්දී  ජනිත විසින් 



"මරු,මරු,හොඳ වෙලාවට අරුන්දතී රෝයි වගේ කෙනෙක් ලංකාවේ හිටියේ නැත්තේ මචන්,හිටියා නම් එයාගෙත් පළවෙනි පොතට ලැබෙන්නේ බුකර් සම්මානය නෙවෙයි.ඔය හොඳම ආධුනික නිර්මාණ සම්මානේ තමයි"

උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් ලිවිම නිසා පාඨකයාට පසුවෙන් කතාව තෙරුන් ගැනීමට හැකියාව ලැබේ.සරල භාෂා භාවිතය මෙහි දක්නට ලැබෙන තවත් ලක්ෂණයකි.විවිධ පුද්ගලයින්ට අනුගත වන ආකාරයෙන් භාෂාව හැසිරවීමේ ගුණාංගය කතාව පුරාවටම අපිට දැකිය හැකිය.අවස්ථාවට උචිත ලෙස භාෂාව හැසිරවීම නවකතාවක දැකිය හැකි ධනාත්මක ලක්ෂණයකි.

දේශපාලනික අරගලය පිලිබඳ මනා කියවීමක් මේ ඔස්සේ දක්නට ලැබෙන අතර සාමාන්‍ය ජනයා අත්නොවිදින, නොදකින අඳුරු රහස් මෙම කියැවීම ඔස්සේ ලේඛකයා විසින් පාඨක මනසට ලංකරයි.ලෝකයට සුදු චරිතයක් පෙන්වමින් කළු චරිතව හිඳ දේශපාලකයින් රඟන රංගනය යථාර්තවදිව මෙහිදී පෙන්නුම් කිරීම රචකයාගේ ඇති විශේෂත්වයයි.

එලෙසම සම්ප්‍රදායිකව සිතන ලංකාව වැනි රටක ලිංගිකත්වය සේම සමලිංගිකත්වය පිළිබඳවත් නිදහස් මානසිකත්වයකින් සිතීමේ නිදහසක් ඇති බවත් මෙහිදී පෙන්වන කරුණකි.ලිංගිකත්වය යනු කෙනෙකුගේ ලිංගික සිතුවිලි, ලිංගික හැඟීම්, ආකර්ෂණය සහ හැසිරීම් යන මේ සියල්ලන්ගේම එකතුවයි. ලිංගිකත්වය යනු ක්‍රියාවෙන් ඔබ්බට ගිය මානසික ,අධ්‍යාත්මික කාරණාවලින් යුක්ත කරුණකි.ලිංගික අධ්‍යාපනය පිලිබඳ අප පාසල් වල පවා කතාබහ කිරීමට මැලිකමක් දැක්වීම හේතුවෙන් ලිංගික අධ්‍යාපනය පිළිබඳව නිසි අවබෝධයක් බොහෝ දෙනෙකු තුළ නොමැති වීම මෙම අනවබෝධයට විසල් හේතුවකි.

කාන්තා පිරිමි දෙපාර්ශවයට අමතරව සමාජයේ සිටින තෙවන පාර්ශවය පිළිබඳව අප සමාජයේ බොහෝ දෙනෙකු අමතක කර ඇත. ඔවුන්ද අප මෙන්ම හැඟීම් දැනීම් ඇති සාමාන්‍ය පුද්ගලයින් බව අප අමතක නොකළ යුතුය.. එබැවින් ඔවුන් දෙසද මානුෂිය ඇසකින් බැලිය යුතු බව ලේඛකයා පාඨකයාට එත්තුගන්වයි. මෙය රෝගයක් නොව එක් එක් පුද්ගලයින්ගේ ලිංගික අනන්‍යතාවයයි.එනම් කෙනෙක් තමන්ගේ ස්ත්‍රී - පුරුෂභාවය පිළිබඳ සිතින් දකින ආකාරය යි.සරලවම දැක්වුවහොත් කෙනෙක්ට තමන්ගේ ලිංගික ආකර්ෂණය ඇතිවන පුද්ගලයාගේ ස්ත්‍රී - පුරුෂභාවය යි.මෙය මුල් කාලයේදී ‘Gender dysphoria’ ලෙස හැඳින්වූ අතර තවදුරටත් එය රෝගයක් නොවන බව තහවුරු විය. මන්ද, රෝගයක් නම් ඖෂධ මඟින් සුව කළ හැකි විය යුතු අතර මෙය එවැනි තත්ත්වයක් නොවන බව සොයා ගැනීමයි. මෙයට හේතුව ජානමය තත්වයක් හෝ මොලයේ රසායනික වෙනස්වීම් වල තත්වයක් වීමටද ඉඩ තිබේ.මෙවැනි කරුණු පිළිබඳද මනුෂ්‍යයින් වශයෙන් අප අවබෝධයෙන් සිටිය යුතු බව මැනවින් පැහැදිලි වන කරුණකි.

අප රටේ අධ්‍යාපන රටාව වෙනස් විය යුතු බව හොදින්ම වැටහෙන කරුණක් වන අතර ඒ ඔස්සේ රටේ පවතින විසල් ගැටළු රැසකට විසඳුම් ලැබෙන බව මනාව පැහැදිලි වන කරුණකි.

මෙම කරුණු ඔස්සේ කසුන් සමරතුංග සොයුරා විවිධ මානයන් රැසක් පිළිබඳව විවේචනාත්මක හෙළිදරව්වක් කර ඇති අතර පළමු නව කතාව වන මන්දකිණියෙන් කිහිපදෙනෙක් කෘතිය සාර්ථක ලිවීමක් බව පැවසිය යුතුය.




නිලක්ෂි බණ්ඩාර

20/06/2025

Sunday, May 18, 2025

එස්නා දේව මන්දිරය

 

එස්නා යනු ඊජිප්තුවේ ඇති නයිල් නදියේ ඉහල ප්‍රදේශයේ පිහිටා ඇති නගරයකි.ටොලමික් යුගයේ සිට ඉදිකිරීම් ඇරඹි බව කියවෙන එස්නා නගරය ග්‍රීක -රෝම යුගයේ (ක්‍රි.පූ. 332 - ක්‍රි.ව. 350) සමයේ කල නිර්මාණ අතුරින් ඉතිරිව ඇති ප්‍රධාන දේවාල හයෙන් එකකි. අනෙක් දේවල වන්නේ වන්නේ ෆිලේ, කොම් ඔම්බෝ, එඩ්ෆු, ඩෙන්ඩරා සහ ඇත්‍රිබිස් ය.එලෙසම  එස්නා යනු පුරාණ ඊජිප්තු ශිෂ්ටාචාරයේ වඩාත්ම කීර්තිමත් නගරවලින් එකක් වූ අතර, රෝම සහ ටොලමික් යුගවලදී මෙම ප්‍රදේශය වටා ඇති විහාරස්ථානවල ඔවුන්ගේ බලපෑම දැඩි ලෙස සටහන් කළ හැකි අතර, එය ඛ්නුම් දේවාලය ලෙසද හැඳින්වේ.

පුරාණ ඊජිප්තු භාෂාවෙන් එස්නා "සෙනාට්" ලෙස හැඳින්වූ අතර පසුව එය ග්‍රීකයන් විසින් "එස්නා" ලෙස හැඳින්වූ අතර එහි අර්ථය "මාළු නගරය" යන්නයි, මන්ද මාළුවා දිව්‍යමය නිරූපකයක් වූ අතර දැන් එස්නා දේවාලය පිහිටා ඇත.

දකුණු ලාක්ෂෝර් වල සිට කිලෝමීටර් 54ක් දුරින් ඇති එස්නා හි අදහන දෙවිවරුන් අතර ඛුනුම් ,නේට් , මෙන්හිට් ප්‍රධාන වේ.2018 සිට, එස්නා හි (ක්‍රි.පූ. I සියවස) ඛ්නුම්, නේට් සහ හෙක් යන පුරාණ ඊජිප්තු දේවාල ඊජිප්තු-ජර්මානු-ප්‍රංශ ඒකාබද්ධ ව්‍යාපෘතියක කොටසක් ලෙස මහා පරිමාණව ප්‍රතිසංස්කරණයකට භාජනය වෙමින් පවතී.ඊජිප්තු පුරාවෘතින්ට අනුව ක්නුම් යනු මිනිස් වර්ගයාගේ නිර්මාතෘවරයා ලෙස විශ්වාස කරති., මැටි බඳුනක් මත මැටියෙන් මිනිසෙකු නිර්මාණය කළ දිව්‍ය කුඹල්කරුවෙකි. ඔහු ඊජිප්තුවේ රජවරුන්ට සහ ඔවුන්ගේ යටත්වැසියන්ට දිව්‍ය කැමැත්ත ප්‍රකාශ කරන ලද  ශ්‍රේෂ්ඨ අනාවැකි කියන්නෙකු ලෙස ද සැලකේ. බොහෝ විට නිරූපණය කර ඇත්තේ බැටළුවෙකුගේ හිසක් ඇති මිනිසෙකු ලෙසය. එහෙයින් ක්නුම් ට උපහාරයක් ලෙස  මෙම මාලිගාව ගොඩ නැගු බව කියවේ.


මෙම ප්‍රතිසංස්කරණ යන්හි අරමුණ වන්නේ මුල් සිතුවම් මත ඇති ඛනිජ වර්ග වලින් සාදන ලද තීන්ත සංරක්ෂණය කර ව්‍යුහයේ වාස්තු විද්‍යාත්මක අංග හෙළිදරව් කිරීමයි.ප්‍රතිසංස්කරණය කේන්ද්‍රගත වී ඇත්තේ දේවමාළිගාවේ සංරක්ෂණය කරන ලද එකම කොටස වන ප්‍රෝනෝස් (දේවමාළිගාවේ ප්‍රධාන කොටසට පිවිසෙන දොරටුව ඉදිරිපිට ඇති ගෘහස්ථ ශාලාවක්) වෙතය.


එස්නා දේවාලය  දහඅටවන රාජවංශයේ III වන තුත්මෝසිස් රජු විසින්  ස්ථාපිත කරන ලද අතර, පසුව ක්‍රි.ව. 40 සිට 250 දක්වා රෝම අධිරාජ්‍යයන් විසින් එය සම්පූර්ණ කරන ලදි.මධ්‍යම රාජධානියේ එය වැදගත් දේශපාලන මධ්‍යස්ථානයක් බවට පත් වූ අතර, ඊජිප්තුවේ නව රාජධානියේ එය ප්‍රධාන වෙළඳ ස්ථානයක් විය.
දෙවිවරුන්ගෙන් සහ ඊජිප්තුවේ රජවරුන් සහ පූජනීය විල නිරූපණය කරන විවිධ දර්ශනවලින් එය අලංකාර කරන ලදී.
එස්නා දේවාලයේ නටබුන් අතර නෙළුම් මල් සහිත කැටයමින් අලංකාර ලෙස සරසා ඇති කුළුණු 24 කින් යුත් කුළුණු වලින් නිර්මිත ශාලාවක් තිබේ.දේවාලයේ බිත්ති මත ටොලමික් සහ රෝම අධිරාජ්‍යයන් පාරාවෝ ඇඳුම් වලින් සැරසී ඛ්නුම් දෙවියන්ට පූජා ඔප්පු කරන ආකාරය සිතුවම් කර ඇත.දේවමාළිගාවේ පූජකවරුන් සහ භාරකරුවන් විසින් ගබඩා කාමර ලෙස භාවිතා කරන ලද කුටි දේවමාළිගාවේ දොරටුවේ දෙපස ඇත.මෙම දේවාලය  ඊජිප්තුව ලෝකයේ සෙසු ප්‍රදේශවලට සම්බන්ධ කරන ප්‍රධාන මාර්ග දෙකක මංසන්ධියේ පිහිටා ඇති බැවින්, එය ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයක්ද විය. රෝමානු දේවාල සහ අනෙකුත් ව්‍යුහයන්ගේ නටබුන් කලාපයෙන් සොයාගෙන ඇත.එස්නා නගරය මැටි භාජන සහ රෙදි නිෂ්පාදනය කරන වැදගත් කර්මාන්ත ස්ථානයක් ද විය. 

එලෙසම ඊට අමතරව, මෙම දේවස්ථානයේ පුස්තකාලයක් සහ ප්‍රදේශයේ පුරාණ ඊජිප්තුවරුන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා පාසලක් ද පිහිටා තිබුණි. සියවස් ගණනාවක් පුරා, එස්නා දේවාලය එහි විශාලත්වය සහ නයිල් ගං ඉවුර අසල පිහිටීම නිසා අපූරු සංචාරක ආකර්ෂණයක් ලෙස පවතී.
මෙම දේවමාළිගාවේ ඇති වඩාත්ම සිත්ගන්නාසුලු නිර්මාණය වන්නේ තාරකා විද්‍යාත්මක නිරූපණයන්ගෙන් සරසා ඇති වහලයයි.දේවමාළිගාවේ දොරටුවේ වම් පැත්තේ, ඔබට අහසට අධිපති දේවතාවිය වන නට්, සුනඛ තාරකාව,ඔරායන් පටිය සහ ඇල්ෆා ඩ්‍රැකෝනිස් ( මකර තරුව) දැකිය හැකිය.දේවමාළිගාවේ බටහිර දෙස පිහිටි බිත්තියේ, ඔබට යුද්ධයට අධිපති දෙවියා වන හෝරස් දෙවියන් සහ ක්නම් දෙවියන් නයිල් ගඟෙන් මාළු පිරුණු දැලක් ඇදගෙන යන ආකාරය මෙන්ම කුරුල්ලන්ගේ ඊට ලැබෙන සහයද දැක ගත හැකිය.


පළමු දේවමාළිගාව පැවති සමයේදී (ක්‍රි.පූ. 1200-586), දාවිත් රජු ජෙරුසලම යටත් කරගෙන එය තම අගනුවර බවට පත් කිරීමෙන් පසු, ක්‍රි.පූ. 1000 දී සලමොන් රජු විසින් පළමු දේවමාළිගාව ඉදිකරන ලදී. ක්‍රි.පූ. 586 දී බැබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් ජෙරුසලම යටත් කරගත් විට දේවමාළිගාව විනාශ කරන ලදී.

එස්නා දේවාලය ලක්සෝර් සහ අස්වාන් අතර පිහිටා ඇති අතර, ඔබට ලක්සෝර් සිට කිලෝමීටර 50 ක් පමණ දුරින් මෝටර් රථයකින් එය නැරඹිය හැකිය. නයිල් නදියේ ඇති කෲස් නෞකාවකින් මෙම අපූරු දේවාලය නැරඹීමට හැකිය.

නූතන එස්නා නගරය සංචාරකයින් අතර ප්‍රසිද්ධ වන්නේ 1906 දී බ්‍රිතාන්‍යයන් විසින් නයිල් ගඟ මත ඉදිකරන ලද බැරේජ් පාලම් සහ 1990 ගණන්වල ඉදිකරන ලද “විදුලි පාලම” නිසාය. කයිරෝවේ සිට සැතපුම් 485ක් දුරින් පිහිටි එස්නා නගරය නයිල් ගඟේ බටහිර ඉවුරේ පිහිටා ඇත.

නිලක්ෂි බණ්ඩාර 

18/05/2025.

Wednesday, May 7, 2025

ජීවිතය




"මම දැන් විනාඩි 10කට කලින් මගේ හිටපු පෙම්වතා එයාගේ අලුත් පෙම්වතියත් එක්ක බයිසිකලේ යනවා දැක්කා. එයා හරිම සතුටින් ඉන්න බව  පෙනුනා. මට කවදාවත් බයිසිකලයක් පදින්න ඕන වුණේ නැහැ, විශේෂයෙන් රෑ බෝ වෙනකම් . මම සීතලට වෛර කරනවා, ඒ වගේම අඳුර මාව බය කරනවා. 

නමුත් ඒ කෙල්ල හරිම සතුටු සිතින්, හිනාවෙලා එයා එක්ක හිනාවෙලා හිටියා.ඒ වෙලාවේ මට තේරුණා දෙයක්. ජීවිතය පුදුම සහගතයි, මොකද අපි එකිනෙකාට වුන හැම හානියකින්ම පස්සේ, ඒ ඔස්සේ  අපිට ගැලපෙන අයව හොයාගත්තා. වඩා හොඳ දෙයක් හැම විටම ජිවිත වලට  එනවා. ඔයාට ඇත්තටම ගැලපෙන කෙනෙක් දිනෙක  එයි. එයා එයාගේ බයිසිකලේ සතුටින් ඉන්නවා, මම මෙතන.  මගේ ඉගෙන ගත් දේ බෙදාගනිමින් ඉන්නවා  වගේම අද මම  ජීවිතය දකින විදිහ මම කවදා හරි මුණගැහුණු හොඳම පුද්ගලයා සමඟ බෙදා ගන්නවා. ජීවිතය ප්‍රඥාවන්තයි, මගේ යාළුවනේ - ඒකට  ගලාගෙන  යන්න දෙන්න."

නිලක්ෂි බණ්ඩාර.
08.05.2025.

Monday, May 5, 2025

සාර්ථකත්වය.


එක් වරක් මම ජිවිතයේ ඉතාමත්  සාර්ථක වුන කාන්තාවකගෙන් ඇයගේ සාර්ථකත්වයේ රහස මා සමගින් බෙදා ගැනීමට  පුළුවන්දැයි ඇසුවා.

ඇය සිනා සි මෙසේ පැවසුවා.

සුළු දේටත් අන් අය සමග ගැටීම නැවැත්වූ වූ පසු මගේ සාර්ථකත්වය ඇරඹුනා .

මා ගැන කතා පැතිරවූ අය ගැන සිතමින් ගැටීම  නැවැත්වුවා 

මම මගේ  නෑයින් ,අසල්වාසීන්, මිතුරු මිතුරියන් සමගින් ගැටීම නැවැත්වුවා.

මම අන් අයගේ අවධානය බලාපොරොත්තුවෙන් සිදුකළ ගැටීම් නැවැත්වුවා.

මගේ අයිතීන් අන් අයගෙන් බලාපොරොත්තු වීම උදෙසා සිදු කල ගැටීම් නැවැත්වුවා. 

අන් අයගේ අපේක්ෂාවන් සහ  අරමුණු  උදෙසා සටන් කිරීම නැවැත්වුවා.

සටන් කිරීමට තමන් සතුව කිසිවක්ම නැති අයට එවැනි සටන් මම ඉතුරු කළා.


ඉන්පසු...

මම ඇරඹුවා සටන් කිරීමට 

මගේ දැක්ම වෙනුවෙන්.

මගේ සිහින වෙනුවෙන්.

මගේ අදහස් සහ 

මගේ අවසාන ඉලක්කය වෙනුවෙන්.

සුළු ගැටීම් වලට සමු දුන් දවස මගේ සාර්ථකත්වයේ ඇරඹුමයි.

සමහර ගැටීම් ඔබේ ජීවිතයට සුදුසු නොවන අතර ඔබ සටන් වැදිය යුත්තේ කුමක් සඳහාද යන්න නුවණැතිව තෝරා බේරා ගත යුතුය.

නිලක්ෂි බණ්ඩාර.

2025.05.05.