තී
මන්දකිණියෙන් කිහිප දෙනෙක් කතාව ඇරඹෙන්නේ මාධ්‍ය ආයතනයක ප්‍රධානියා වන චරිත පරණමානගේ සහ නවක ලේඛකයකු අතර ඇතිවන දෙබසක් ඇසුරෙනි. ඒ ඔස්සේ මාධ්‍යලෝකයේ ඇතුලාන්තයේ ඇති දෙබිඩි ක්‍රියාවලින් සහ රංගනයන් හාස්‍යයට ලක්වන ස්ථාන අපුරුවට එළිදක්වයි.එමෙන්ම සමාජයෙන් සැඟවුණු තොරතුරු රාශියක් හෙළි කිරීමට මේ ඔස්සෙ කතුවරයා සමත් වී ඇත.
එම කතාබහ කතා ශෛලියෙන් ලියවී ඇත.මෙහි දක්නට ලැබෙන විශේෂත්වය වන්නේ චරිත කීපයක් වටා ගෙතුණු ලිවීමක් වීමයි.මුළු කතාවම ඒ ඒ පුද්ගලයින්ගේ කෝණයෙන් පාඨකයා වෙත ලං කරයි.
අතෘප්තිකර පවුල් ජිවිතයක් ගත කරමින් විවහා බැම්ම ආරක්ෂා කරගැනීමට නොව කෙසේ හෝ පවත්වාගෙන යාමට උත්සහ කරන කාන්තාවක් මෙම කතාවේ කතා නායිකාව වේ.සුපුරුදු ජිවන රටාව පවත්වාගෙන යාමට ඇයට ධනවත් ව්‍යාපාරිකයා සමග ජිවත් වීමට සිදුවේ.ස්ත්‍රිපුරුෂ පුද්ගල සම්බන්ධතා වල දුර්වලතාවයන්, දරුවන් අහිමි වීම් ,අසාර්ථක විවහා ජිවිත නිසා ස්වාමි පුරුෂයාගේ දින චරියාව නිසාත් , ව්‍යාපාරික කටයුතු සහ අසීමිත නිදහස පසුපස හඹා යන ගැහැණිය.... මෙම නව කතාව තුළ හමුවන ජල ප්‍රවහයන්ය.මෙහිදී විශේෂත්වය වනුයේ ඇය ගැන පාඨකයාට දැනගත්ත හැක්කේ විවිධ චරිත ඇයව දකින දෘෂ්ටිකෝණයෙණි.මෙම චරිත බොහොමයක් මාධ්‍යයට සම්බන්ධ අයයි.
ව්‍යාපාරික ලෝකයෙන් හෙම්බත් වන ඇය ඇතැම් විටෙක සමාජ සේවා කටයුතු වල යෙදෙයි.විශාල ධන පරිත්‍යාගයෙන් කටයුතු කරයි.අපට මෙහිදී ඩයනා කුමරියගේ චරිතය සිහියට නැගෙයි. ඇය ද තම හීන අනුන් වෙනුවෙන් කැප කල කාන්තාවකි.
වත්මන් සමාජයේ උද්ගතවී ඇති ගැටළු කිහිපයක් මෙහිදී කතුවරයා පාඨක දෑසට ලංකරයි. කාන්තාව පසුගිය කාලයේදී බොහෝ විට මත්පැන් භාවිතයට යොමු වන්නේ එක්කෝ ඉහල සමාජයේ සහ වතු ආශ්‍රිතව වාසය කරන්නන්ය. නමුත් වර්තමානයේ සමහර කාන්තාවන් පාසල් වියේදී තරුණ වියේදීත් මත්පැන් භාවිතයට යොමුව ඇත.ඒ නිසා ඇතිවන සමාජ පරිහානියද කතුවරයා ගේ දර්ශනයට ලක්ව ඇත.මත්පැන් භාවිතය නිසා පුද්ගලයින් වෙනත් මානයන්ට යොමුවන ආකාරය ලේඛකයා මනෝ විද්‍යාත්මකව විග්රහ කර ඇත.
විවහා කුටුම්භය තුලදී කාන්තාවන්ට තමන්ට ස්ථාවර ආර්ථික මට්ටමක් නැතිවිමේදී තම ආර්ථික ස්වාධීනත්වය අහිමිවන ආකාරය මැනවින් මෙහි පිළිඹිබු කර ඇත.එලෙසම දෙමාපියන්ගේ නිමක් නැති නීතිවලට යටත්ව, ඔවුන්ගේ කැමැත්තට අනුගතවන්නට සිදුවීම හේතුවෙන් ජිවිත ගමන තුළ දරුවන් කොතරම් අතරමංව අසරණ වනවාද යන්න මැනවින් පෙන්නුම් කරන මන්දකිණියෙන් කීපදෙනෙක් නව කතාව සමාජයේ සෑම පැතිකඩක් දෙසම පුළුල් විග්රහයකින් යුතුව රචනා කර ඇති බව පාඨකයාට මනාව තේරුම් යන කරුණකි.
කතා නායිකාවගේ පවුල් පරිසරය පිළිබඳව යම් කිසි ඉඟියක් තිබුණි නම් මෙවැනි චරිතයක් ගොඩ නැගීමට හේතුව තවත් පැහැදිලිවිමට ඉඩ තිබුණි. මේ ජිවිතයේ රසවත් තැන් සේම විවිධ හැලහැප්පිලි , ඝට්ටනයන් පිළිබඳව කතුවරයා රසවත් ලෙසත්, කතාව ගලායාමට පිටුවහලක් වන අයුරිනුත් යොදාගෙන ඇත. කසුන් සොහොයුරා මන්දකිණියෙන් කිහිප දෙනෙක් නමැති නව කතාවෙන් ආලින්දයට විටින් විට විවිධ අමුත්තන් කැඳවාගෙන ඒම පාඨකයින්ට කුතුහලය දනවන කරුණකි. එය පාඨකයාට අපුරු අත්දැකීමක් මන්දකිණියෙන් කිහිපදෙනෙක් නවකතාව තුළින් ලේඛකයා ලබා දෙයි.මේ ඔස්සේ තත්කාලීන සමාජයේ සංකීර්ණ පැතිකඩ රාශියක් අපට දැකගත හැකිය.
125 ස් වැනි පිටුවේ ඇති මලිත්තගේත් ජනිතගේත් කතාබහ ඔස්සේ කළා ලොව පවතින අඳුරු පැතිකඩයන් මනා ලෙස ඔප්නංවා පෙන්නුම් වන අවස්ථාවකි. සාහිත්‍ය ලොව සුදුස්සාට නිසිතැන නොලැබෙන බවත් පසුව ඔවුන් සුදුස්සන් ඉදිරියේදී දෙබිඩි චරිතයන් රඟදක්වන ආකාරයත් මේ ඔස්සේ මනාව පැහැදිලි වේ.
“ඒකිගේ පොත මරු මචං! හැබැයි මේක ඒකිගේ පළවෙනි පොතනේ. ඒක නිසා අපේ එයාට සම්මානේ දෙන්නේ නෑ. එයාට තව කල් තියෙනවනේ. අනික ඕකුන් එක පාර වැඩිය උඩ දාන්න හොඳත් නෑ. කට්ට කාලා එන්න එපැයිඋත්ප්රාසය දනවන ස්ථානද මෙහි නැතුවා නොවේ.මලිත්ත චන්දුලාට හිමි නමුත් නොලැබෙන සම්මානය පිළිබඳව පවසද්දී ජනිත විසින්
"මරු,මරු,හොඳ වෙලාවට අරුන්දතී රෝයි වගේ කෙනෙක් ලංකාවේ හිටියේ නැත්තේ මචන්,හිටියා නම් එයාගෙත් පළවෙනි පොතට ලැබෙන්නේ බුකර් සම්මානය නෙවෙයි.ඔය හොඳම ආධුනික නිර්මාණ සම්මානේ තමයි"
උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් ලිවිම නිසා පාඨකයාට පසුවෙන් කතාව තෙරුන් ගැනීමට හැකියාව ලැබේ.සරල භාෂා භාවිතය මෙහි දක්නට ලැබෙන තවත් ලක්ෂණයකි.විවිධ පුද්ගලයින්ට අනුගත වන ආකාරයෙන් භාෂාව හැසිරවීමේ ගුණාංගය කතාව පුරාවටම අපිට දැකිය හැකිය.අවස්ථාවට උචිත ලෙස භාෂාව හැසිරවීම නවකතාවක දැකිය හැකි ධනාත්මක ලක්ෂණයකි.
දේශපාලනික අරගලය පිලිබඳ මනා කියවීමක් මේ ඔස්සේ දක්නට ලැබෙන අතර සාමාන්‍ය ජනයා අත්නොවිදින, නොදකින අඳුරු රහස් මෙම කියැවීම ඔස්සේ ලේඛකයා විසින් පාඨක මනසට ලංකරයි.ලෝකයට සුදු චරිතයක් පෙන්වමින් කළු චරිතව හිඳ දේශපාලකයින් රඟන රංගනය යථාර්තවදිව මෙහිදී පෙන්නුම් කිරීම රචකයාගේ ඇති විශේෂත්වයයි.
එලෙසම සම්ප්‍රදායිකව සිතන ලංකාව වැනි රටක ලිංගිකත්වය සේම සමලිංගිකත්වය පිළිබඳවත් නිදහස් මානසිකත්වයකින් සිතීමේ නිදහසක් ඇති බවත් මෙහිදී පෙන්වන කරුණකි.ලිංගිකත්වය යනු කෙනෙකුගේ ලිංගික සිතුවිලි, ලිංගික හැඟීම්, ආකර්ෂණය සහ හැසිරීම් යන මේ සියල්ලන්ගේම එකතුවයි. ලිංගිකත්වය යනු ක්‍රියාවෙන් ඔබ්බට ගිය මානසික ,අධ්‍යාත්මික කාරණාවලින් යුක්ත කරුණකි.ලිංගික අධ්‍යාපනය පිලිබඳ අප පාසල් වල පවා කතාබහ කිරීමට මැලිකමක් දැක්වීම හේතුවෙන් ලිංගික අධ්‍යාපනය පිළිබඳව නිසි අවබෝධයක් බොහෝ දෙනෙකු තුළ නොමැති වීම මෙම අනවබෝධයට විසල් හේතුවකි.
කාන්තා පිරිමි දෙපාර්ශවයට අමතරව සමාජයේ සිටින තෙවන පාර්ශවය පිළිබඳව අප සමාජයේ බොහෝ දෙනෙකු අමතක කර ඇත. ඔවුන්ද අප මෙන්ම හැඟීම් දැනීම් ඇති සාමාන්‍ය පුද්ගලයින් බව අප අමතක නොකළ යුතුය.. එබැවින් ඔවුන් දෙසද මානුෂිය ඇසකින් බැලිය යුතු බව ලේඛකයා පාඨකයාට එත්තුගන්වයි. මෙය රෝගයක් නොව එක් එක් පුද්ගලයින්ගේ ලිංගික අනන්‍යතාවයයි.එනම් කෙනෙක් තමන්ගේ ස්ත්‍රී - පුරුෂභාවය පිළිබඳ සිතින් දකින ආකාරය යි.සරලවම දැක්වුවහොත් කෙනෙක්ට තමන්ගේ ලිංගික ආකර්ෂණය ඇතිවන පුද්ගලයාගේ ස්ත්‍රී - පුරුෂභාවය යි.මෙය මුල් කාලයේදී ‘Gender dysphoria’ ලෙස හැඳින්වූ අතර තවදුරටත් එය රෝගයක් නොවන බව තහවුරු විය. මන්ද, රෝගයක් නම් ඖෂධ මඟින් සුව කළ හැකි විය යුතු අතර මෙය එවැනි තත්ත්වයක් නොවන බව සොයා ගැනීමයි. මෙයට හේතුව ජානමය තත්වයක් හෝ මොලයේ රසායනික වෙනස්වීම් වල තත්වයක් වීමටද ඉඩ තිබේ.මෙවැනි කරුණු පිළිබඳද මනුෂ්‍යයින් වශයෙන් අප අවබෝධයෙන් සිටිය යුතු බව මැනවින් පැහැදිලි වන කරුණකි.
අප රටේ අධ්‍යාපන රටාව වෙනස් විය යුතු බව හොදින්ම වැටහෙන කරුණක් වන අතර ඒ ඔස්සේ රටේ පවතින විසල් ගැටළු රැසකට විසඳුම් ලැබෙන බව මනාව පැහැදිලි වන කරුණකි.
මෙම කරුණු ඔස්සේ කසුන් සමරතුංග සොයුරා විවිධ මානයන් රැසක් පිළිබඳව විවේචනාත්මක හෙළිදරව්වක් කර ඇති අතර පළමු නව කතාව වන මන්දකිණියෙන් කිහිපදෙනෙක් කෘතිය සාර්ථක ලිවීමක් බව පැවසිය යුතුය.
නිලක්ෂි බණ්ඩාර
20/06/2025
No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........