Thursday, August 29, 2019

ලන්තෑරුම් දහසේ නිවහන - වික්ටෝරියා හෝල්ට්



1906දී එංගලන්තයේ උපත ලද එලිනෝර් හිබර්ට් නම් යුවතිය ආරූඪ නම් කිහිපයකින් සිය ග්‍රන්තකරණයේ යෙදුණි. එනම් වික්ටෝරියා හෝල්ට්, පිලිපා කාර් සහ ජීන් ප්ලේඩි යන නම් වලින් වූ අතර වඩාත්ම ඇය ප්‍රසිද්ධ වූයේ වික්ටෝරියා හෝල්ට් යන අන්වර්ථ නාමයෙනි. ඇයගේ ජීවිත කාලය තුළ  නවකතා 200කට අධික සංඛ්‍යාවක් පළ කළාය.මිඩ්ල්සෙක්ස් විශ්වවිද්‍යලයේ උපාධිදාරිනියක් වන අතර ලොව් විශිෂ්ටතම ලේඛයින් වූ චාර්ල්ස් ඩිකන්ස්, එමිලි බ්‍රොන්ටේ, ජෝර්ජ් එලියට් වික්ටර් හියුගෝ ,ලියෝ තොල්ස්තෝයි වැනි ලේඛකයන් ගේ අභාශය ලැබුවාය .

සේමාලි කැල්ලපත මහත්මිය විසින් පරිවර්තනය  කරන ලද ලන්තෑරුම් දහසේ නිවහන වික්ටෝරියා හෝල්ට් විසින් රචනා කරන ලද The House of A Thousands lanterns යන කෘතියේ පරිවර්තනය යි. මෙය එංගලන්තයේ සුන්දර ගැමි පරිසරයක ජීවත් වුන දැරියක් කඳු නගින්නන්ට මං පෙන්නන්නකු වූ තම පියාගෙ අභාවයෙන් පසුව "රෝලන්ඩ් ක්‍රොෆ්ට් " නම් මහා මන්දිරයක ජිවත් වීමට යෑම වටා ගෙතුණු සුන්දර කතාවකි.මෙම දැරිය ජේන් වූ අතර ,මව ලින්ඩ්සේ මහත්මිය විය.

මෙම මන්දිරයේ අයිතිකරු වන මිල්නර් සිල්වෙස්ටර් චීනයේ නිෂ්පාදිත වටිනා කෞතුක භාණ්ඩ මිලට ගෙන විකුණන  ව්‍යාපාරයක් හිමි ධනවත් ව්‍යාපාරිකයෙකි.චීන කැටයම් ,පහන්, පිගන් භාණ්ඩ ,ප්‍රතිමා ආදිය පිලිබඳ මනා කළාත්මක දැනුමක් ඔහු සතුවිය.

බාලිකා පාසලක අධ්‍යාපනය නිම කරන ජේන්,මිල්නර් මහතාගේ කෞතුක භාණ්ඩ කලාගාරයෙහි රැකියාවක් ලබාගෙන සේවය කරන අතර මිල්නර් මහතාගෙන් ගෙන් ලද දැනුම් සම්භාරයෙන්පන්නරය  ලැබුවාය  , එහිදී ජේන්ට  හමුවන මිල්නර් මහතාගේ සොයුරාගේ පුතකු වූ ජොලිෆර් ගේ ආදරය නිසා ඇයට ජිවිතයේ විවිධ හැලහැප්පීම් සහ ඝට්ටනයන්ට මුහුණ දීමට සිදුවේ.අහඹුව ඇයගේ ජීවිතයට එක්වන ජොලිෆර්  හේතුකොටගෙන ඇයගේ ජීවිතයේ සිදුවන පෙරළිය ඉතාමත් සුන්දරව කතුවරිය  විසින් රචනයට ලක් කර ඇත.

ජෝලිෆර් විවාහකයකු බව අනාවරණය වීමත් ,මවගේ මිය යාමත්  , කුස තුළ සිටි දරුවා සමග මිල්නර් මහතා සමග විවහා වී හොංකොං නගරයේ පිහිටි ලන්තෑරුම් දහසේ මන්දිරය වෙත යාමට යොමු වන මෙම කතා නායිකාව පසුපස මරණයේ සෙවණැල්ල ගමන් කරන අතර මෙම සිද්ධීන් දාමය කුතුහලය සහ ත්‍රාසය නංවන අයුරින් රචනා කර ඇත. ලන්තෑරුම් දහසේ නිවහන යනු , චීනයේ මැන්ඩරින් වරයකුට අයත්ව තිබු සුන්දර එමෙන්ම අත්භූත සිද්ධීන්ගෙන් ගහනවූ මන්දිරයකි.

පසුකාලීනව ඇයගේ ජීවිතයට උදාවන අඳුරු යුගයත් සමගින් ආදරය සිතේ සඟවාගෙන දිරිය ගැහැණියක් ලෙසින් ජීවිතයට මුහුණ දෙයි.ඒ අතරතුර ලන්තෑරුම් දහසේ මන්දිරයෙහි  අයිතිකරු වීමට ඇයට ඉඩකඩ ලැබෙන අතර එහි  සැඟවී ඇති රහස සොයා  යාමේදි ඇයට විවිධ ත්‍රස්ත්රජනක සිදුවීම්  වලට මුහුණ පෑමට සිදුවේ.එය කූතුහලය නංවමින් රචකයා ලියා ඇති ආකරය ලගන්නාසුලුය.මෙය පසුපසද සිටින්නේ කාන්තාවකි,

මෙම නවකතාවේ ප්‍රධාන චරිතයක් වන වැඩිහිටියෙකු වූ සිල්වෙස්ටර් මහතා පවසන මෙම සත්‍ය  සියලුම කාන්තාවන්ට මෙන්ම පිරිමින්ටද පොදු ධර්මතාවයක් බව පෙනේ.

"දැන් ඔයා යලිත් නැගි සිටින්න ඕනි .මේ වගේ ඛේදවාචක ජිවත් වීම නම් ව්‍යාපාරයේදී ඕනි තරම් තියෙනවා,එත් එකක් මතක තියා ගන්න .
"විපත හැමවිටම චරිතය ශක්තිමත් කරනවා.ලෝකයේ මුළුමනින්ම හොඳ හෝ නරක කියා දෙයක් නැහැ."

නුහුරු පරිසරයක විවිධාකාරය හැගීම් අදහස් වලින් පිරුණු මිනිසුන්ගෙන් ඇය ලද ජීවන අත්දැකීම් බොහෝය.එංගලන්තයේ සමාජ පසුබිමට සහ සිරිත් විරිත් වලට බෙහෙවින්ම වෙනස්වූ සමාජ පසුබිමක විවිධ වු මිත්‍යා විශ්වාස ,සිතුම් පැතුම් හා ගැටෙමින් ජේන් මේ සියළු අභියෝග ජයගනී. මිත්‍යා විශ්වාස හේතුකොටගෙන සමාජයේ විවිධ පුද්ගලයන්ගේ විවිධ හැසිරීම් අපට මෙ කෘතියෙන් මනාව අධ්‍යයනය කිරීමට ඉඩකඩ ලැබීම මෙහි ඇති විශේෂත්වයයි.

" මම සදහටම ඔබට ආදරය කළෙමි"

අප සැමදාම අපගේ් වූයේය. මරණයටද අප වෙන්කළ නොහැකි විය"

අපගේ ආදරය සදාකලිකය"

සැකසුම නිලක්ෂි බණ්ඩාර










Wednesday, August 14, 2019

ලොව පැරණිතම පුස්තකාලය ඇලෙක්සැන්ඩ්‍රියා



මහා ඇලෙක්සැන්ඩර් රජු ක්‍රිස්තු පුර්ව 331දී ඇලෙක්සැන්ද්‍රියාව සොයා ගන්නා විට එම නගරය පාරාවෝ රජුන් විසින් අත්හැර දැමු නගරයක් විය.පසුව ඔහු එම නගරය ඊජිප්තුවේ අගනුවර බවට පත් කල අතර වයස අවුරුදු 32දී ඔහු මිය යන ලදී.ඔහුට හෙලනිස්තික සංස්කෘතිය සහ සාහිත්‍ය එම රාජ්‍යයේ ප්‍රචලිත කිරීමට අවශ්‍ය වූ අතර ඒ සඳහා අනික් රාජ්‍යතාන්ත්‍රිකයින් සහ වැසියන්ව ඔහු පෙළඹුවේය.ඉතිහාසඥ රෝයි මැක්ලිඩ් (Roy McLeod ) මෙය නම් කරන ලද්දේ අධිරාජ්‍යවාදී සංස්කෘතිකමය වැඩසටහන ලෙසිනි.

පුරාණ ලෝකයේ ඇලෙක්සැන්ද්‍රියාව වැඩියෙන්ම ප්‍රචලිත වූ කරුණ වන්නේ ලොව පැරණිතම පුස්තකාලය එහි පිහිටා තිබ්මයි.ටොලමිගේ රාජ්‍ය සමය වූ ක්‍රිපු 361දී මෙය නිර්මාණය කරන ලද අතර එහි මුලරම්භාකයා වුයේ දාර්ශනිකයකු වූ ඇරිස්ටෝටල්ගේ ගෝල දිමිත්‍රියස් ( Demistriyas ) ය.එමෙන්ම උසස් විද්වතකුඩා දර්ශනිකයකුද වූ මහා කවි කාලිමවුස්  විශේෂ විද්වත් මණ්ඩලයකගේ සහය ඇතුව
දෙවෙනි ටොලමි රජු හා එකතු වූ පලවෙනි ටොලමි රජුගේ මෙම උත්සාහය මුදුන්පත් කරවන ලදී.මෙහි විශේෂත්වය වන්නේ යුදෙව් ජාතික විද්වත්  මණ්ඩලයක් ද  මෙම කණ්ඩායමට ඇතුලත්වී තිබීමයි.

ඇරිස්ටෝටල් දාර්ශනිකයා විසින් ආරම්භ කල ලයිසියම් විශ්වවිද්‍යාලයේ ආකෘතියට අනුව මෙම මහා පුස්තකාලය ගොඩ නගන ලදී.මියුසෙස් (Muses ) නම් ග්‍රීක දෙවොලේ සේවය කරන උගත් බුද්ධිමතුන්ට පරිහරණය කිරීම උදෙසා මෙම පුස්තකාලය ගොඩ නැගු බව කියවේ.මියුසස් යනු කලාවට සහ අධ්‍යාපනයට අධිපත දෙවිඳුන් ලෙස සැලකේ.
මෙම පුස්තකාල භුමියේ දැනුම ලබගන්නන්ට සක්මන් මලු නිර්මාණය කර තිබුනේ එකිනෙකා හා සංවාදයේ සහ සාකච්චා වල යෙදීමටය.

ඒජියන් මුහුදේ පිහිටි රෝඩ්ස් (Rhode) දුපතෙන් සහ ග්‍රීසියේ පවතී පොත් සල්පිල් වලින් මෙම පුස්තකාලයට පොත් ලබා ගන්නා ලද අතර මේ සෑම පොතක්ම පාහේ පැපිරස් පත්වල ලියන ලද ඒවා වේ.එම පොත් ලක්ෂ ගණනක් ගබඩා වල තැන්පත් කර තිබී ඇත.පැපිරස් පත්‍ර වලින් සදා තිබුණු මෙම පොත් බිබිලියෝතෙකයි (Bibilithekai  ) ලෙස හඳුන්වා ඇති අතර "මෙය වූ කලි ආත්මය සුවපත් කරන තැනකි යන විශේෂ පාඨය  සඳහන් කර තිබි ඇත.

මෙම පුස්තකාලයේ විවිධ විෂය ක්ෂේත්‍රයන් ගණනාවක් යටතේ විවිධ ලේඛකයින් විසින් රචනා කරන ලද පැපිරස් සහ මැටි ලේඛන මිලියන 7ක ප්‍රමාණයක් තැන්පත් කර තිබු බවද සඳහන් වන කරුණකි.මෙහි කටයුතු සිදුකිරීම උදෙසා පුස්තකාල වේදීන් පිරිසක් වෙනමම කතෘ මණ්ඩලයක් ලෙසින් සේවය කර ඇත.ලොව පළමු පුස්තකාල ග්‍රන්ථ නාමාවලියද නිර්මාණය කිරීමේ ගෞරවය අයත් වන්නේ මෙහි සේවය කල කැලිමාක්ස්
(Calimachus ) ටය. මේ පිලිබඳ දැනගත් ක්ලියෝ පැට්‍රා රාජිනියගේ ස්වාමියා වූ මාර්ක් ඇන්ටනි විසින් මෙම පුස්තකාලයට තුර්කියේ පෙරිගාමම් (Perigumam ) පුස්තකාලයෙන් ඉල්වා පොත් දෙලක්ෂයක් පරිත්‍යාග කල බවටද මතකයක් පවතී.

නමුදු අවාසනාවකට පසුකාලීනව මෙම මහා විශ්ව දැනුම් සම්භාරය ක්‍රිස්තුපුර්ව 48දී එනම් ජුලියස් සීසර් රජ සමයේදී ගිනිබත් බි විනාශ කර ඇති අතර මාක් ඇන්තනි පසුව පොත් දෙලක්ෂයක් පුස්තකාලයට පරිත්‍යාග කරන්නේ මේ සිදුවූ දෙයට වන්දියක් බවට ද මතයක් ඇත.

විනාශ වී ගිය පුස්තකාලය නැවතත් ප්‍රතිසංස්කරණය කල යුතුයි යන අදහස 1974දී අලෙක්සන්ද්‍රා විශ්වවිද්‍යාලයේ සභාපති වූ ලොෆ්ටි දොවීදාර්  විසින් යෝජනා කරන ලද අතර ,1986දී යුනෙස්කෝ සංවිධානයේ විධායක මණ්ඩලයෙන් මෙම ඉල්ලීම ඊජිප්තුව විසින් කරන ලදී.2002 දී මෙය නැවතත් පිළිසකර කර ඇති අතර ග්‍රහලෝකගරයකින් ද පුරාණ අත්පිටපත් ප්‍රතිසංස්කරණය කරන පර්යේෂනාගරයකින්ද මෙය සමන්විත වේ.

මුලාශ්‍ර - https://en.wikipedia.org/wiki/Library_of_Alexandria

Tuesday, August 13, 2019

අම්බුළුවාව ජෛව විවිධත්ව මධ්‍යස්ථානය

Image result for අම්බුළුවාව

අම්බුළුවාව ප්‍රදේශය ප්‍රාග් ඓතිහාසික යුගයේදී යක්ෂ ගෝත්‍රිකයින්ගේ  ජන්මභුමියක් බවට හෙළිවී ඇත.ගම්පොල නගරයට බටහිරින් පිහිටා ඇති මෙම ප්‍රදේශය ගිරි ශිඛරයකින් යුතු පෙදෙසක් වන අතර සතර කෝරලය හා උඩ පළාත වෙන් කරන ප්‍රකාරයක් බඳුය.මෙම ප්‍රදේශය වර්තමානය වන විට ජෛව විවිධත්වයකින් යුතු මධ්‍යස්ථානයක් සේම සර්ව ආගමික මධ්‍යස්ථානයක් ලෙසද ප්‍රචලිතය.

අම්බුළුවාව යන නම සැදී ඇත්තේ ජලය හඳුන්වන අම්බ යන වචනයත් උල්පත් හඳුන්වන උල යන වචනයත් එකතු විලෙනි , එනම් අම්බ + උල - ආ ගල = අම්බුළුවාගල ලෙසය.මෙම කඳුවැටිය දිය උල්පත් රැසක එකතුවෙන් සෑදී ඇති අතර  මට්ටමේ සිට ආදී 3567ක් උසින් පිහිටා ඇත.

 පණ්ඩුවාසු දේව රජ්‍යසමයේ ලක්දිවට සපැමිණි උරුවෙල කුමාරයා උරුවෙල ග්‍රාමය පිහිටවන ලද අතර එය මහවැලි ගම ලෙසට පත්වී එය ගම්පල ලෙස පත්වී ඇත.එම ප්‍රදේශයෙන් හමුවූ බ්‍රාහ්මීය සෙල් ලිපි වලට අනුව එම ප්‍රදේශයේ ක්‍රි පු සමයේ සිටම ජනාවාස පැවති බව හෙළි වුණි.එමෙන්ම ඒ අසල රාක්ෂ ගෝත්‍රිකයින් විසු ගම්මානද තිබී ඇත.එමෙන්ම අම්බුළුවාව ප්‍රදේශයෙන් යකඩ ලෝහ කර්මාන්තයෙහි යෙදුනු රාක්ෂ ගෝත්‍රිකයින්ගේ මධ්‍යස්ථානයක් ලෙස පවතී තිබුණු බවට සාධක හමුවී ඇත.පුරාන ජනප්‍රවාද වලට අනුව අළුගොල්ල ගමෙහි පොළව යට තිබී වර්තමානයෙහි පවා යබොර තිබෙන බවද කියවේ.

ගැමුණු රජුගේ යුධ කටයුතු වලට ආයුධ සැපයු ප්‍රධාන ස්ථානයකි කොත්මල ප්‍රදේශය.අනුරාධපුර රාජධානිය ආරම්භයේදී ගැමුණු කුමරුන් මලය ප්‍රදේශයට පැමිණියේ ගඟසිරිපුර ප්‍රදේශය හරහාය.පුරාවිද්‍යා ගවේෂකයින්ට අනුව කොත්මලේ ලෝහ කර්මාන්තයට සුළං බලයෙන් විශාල කෝව තුල යපස් උණු කල පෙදෙසක් සහ දක්ෂ ආචාරීන් බහුල පෙදෙසක් බවටත් ප්‍රසිද්ධ වී ඇත.මෙම ප්‍රදේශයේ මොටතිය නම්වූ ප්‍රාදේශීය නායකයකු කරවූ නියම්ගම්ගය ශිලා ලිපියෙන් ගොඩගම සහ සිංහපිටිය  පිළිබඳව කරුණු සොයා ගත හැක.එම ශිලා ලිපියට අනුව මෙම පෙදෙස ශ්‍රී උර ලෙස හඳුන්වා ඇත.එමෙන්ම එම පෙදෙහෙසි රජ මාලිගයක්ද තිබු බව හෙළි වී ඇත.

එකල ලියවුනු මයුර සන්දේශයෙහි 25 වන කවියෙහි මෙලෙසින් මෙම පුරවර වර්ණනය අන්තර්ගත කිඔට ඇත.

ගහෙන් වියත වියකෙත සිටි සිටි තැනිනි
වහන් කරත මල් මුවරද අකල් හිසිනි
පහන් සඳෙහි රිවිකොත් උදයඟ උඩිනි
පහන් සඳිනි වඩු අම්බුළුවා කඩිනි

මෙම කඳු මුදුනෙහි ගොඩනැගී ඇති නොසිඳෙන රන් තැටියා පොකුණ පිලිබඳ විවිධ පුරාවෘත රැසක් පවතී. 3වෙනි වික්‍රමභාහු රාජ්‍ය සමයේ විසු බිසෝ බණ්ඩාර දේවිය මේ පොකුණෙන් ඉහලට මතුවූ රන් තැටි හතකින් එකක් ගෙන ජලය පානය කොට මුහුණ දොවා නැවත එය පොකුණට දැමු විට එය අතුරුදහන් වූ නිසා රන් තැටියා පොකුණ ලෙස නම ලද බව පැවසේ.

මෙම ප්‍රදේශය ජෛව විවිධත්වයෙන් යුතු ප්‍රදේශයක් බවට පත් කලේ හිටපු තැපැල් ,විදුලි සහ සංදේශ නියාමන අමාත්‍ය දිමු ජයරත්න මහතාය.මෙම ස්ථානය රාජකීය උද්‍යානයක සිරිය ගත්තද හෙළ සංස්කෘතික බැවින් ඉහල වටිනාකමක් ඇති ප්‍රදේශයකි.මහනුවර කළා සම්ප්‍රධායට අනුව මෙහි ප්‍රවිෂ්ඨ වන දොරටුව ගොඩ නගා ඇති අතර තොරණ මහල් තුනකින් සමන්විතය.මෙහි ඉතාමත් සුන්දර ශෛලමය උද්‍යානයක්ද නිර්මාණය කර තිබීම විශේෂත්වයයි.එහි ඇති ස්වබාවික ගල්පර සහ ඒ අතර වගා කර ඇති සුන්දර මල් වගාවන් මෙම ජෛව සංරක්ෂිතයට විසල් සුන්දරත්වයක් එක් කර ඇත.එමෙන්ම විශේෂිත වූ කෘෂිකර්මය පාදක කොටගෙන ගොඩ නගා ඇති අඩි 243ක් උස ගොවිජන සෑය සහ සඳකඩ පහනද , අම්බුළුවාව කඳු මුදුනේ වැව් තුනක්ද පොකුණු 18ක් ද පිහිටා තිබීම මෙහි ඇති සුවිශේෂී අංගයන්ය.

එමෙන්ම මෙම ජෛව විවිධත්ව කලාපයේ විවිධ ශාක වර්ග 200ක පමණ එකතුවක් අපට දැකිය හැක. මෙහි නිර්මිත ගොවිජන සෑයේ මුල් කොටස වී බිස්සක හැඩයටත් ,ඝර්භය වට්ටක්කා ගෙඩියක හැඩයටත් ඉහල කොටස කොකෝවා ගෙඩියක හැඩයෙනුත්  ගොඩ නංවා තිබේ.අවසාන කොටස චුඩා මානික්‍ය වන අතර එය අප රටේ ගොවිතැන සංකේතවත් කරයි.

මෙය සර්වාගමික මධ්‍යස්ථානයක් වන අතර ඔබ එය නැරඹීමට යන විට හැකිතාක් සන්සුන්ව සහ සංවර ලෙස යාමට වගබලා ගන්න.

ලෝක අලි ඇතුන්ගේ දිනය


අද ලෝක අලි ඇතුන්ගේ දිනයයි.

ශ්‍රී ලංකාවේ සංස්කෘතික සහ ආගමික පෙරහැර වල දර්ශනීය ඇඳුමින් සරසවා ,ගමන් කරන අලි ඇතුන් කෙතරම් අලංකාර දසුනක්ද?ශ්‍රී දළදා මාලිගාව , කතරගම දේවාලය , ශ්‍රී සුමන සමන් දේවාලය ,කැළණි විහාරයේ පෙරහැර . බෙල්ලන්විල සහ හුණුපිටියේ ගංගාරාමයේ පෙරහැර මින් ප්‍රධාන වේ.එමෙන්ම පංච තුර්ය නාදයට අනුව පාද තබමින් නටන තරුණ අලින් මෙම පෙරහැර වල දක්නට ලැබෙන මනස්කාන්ත දර්ශනයකි.පනාමුරේ ඇත් රාජා සහ මහනුවර ශ්‍රී දළදා මාලිගයේ ඇත් රාජා ශ්‍රී ලංකාවේ වාසය කළ කීර්තිමත් ඇතුන් දෙදෙනෙකි.එමෙන්ම තායිලන්තයේ සංචාරක ව්‍යාපාරය තුළ අලින්ගේ පිට මත සවි කළ අසුන් මත ගමන් ගන්නා සංචාරකයින් විශේෂිත දර්ශනයකි.

අලින් යනු වර්තමානය වන විට ගොඩබිම  සිටින විශාලතම ක්ෂීරපායි  සත්ව කොට්ටාශය වේ.මොවුන් ඇන්ටිඩෙලුවියන් යුගයට  අයත් වන අතර අප්‍රිකානු  සහ ආසියානු මහාද්වීප  ජන්ම භුමි
යුරෝපීයයන් අතීතයේ ශ්‍රීලංකාව පාලනය කරන ලද අවධියේ දී විනෝදාංශයක් ලෙස  අලි ඇතුන් දහස් ගණනක් මරා දැමු බව ඉතිහාසයේදී සඳහන් වේ.

 රෝමයේ ක්ලෝඩියස් අධිරාජ්‍යයා විසින් ක්‍රිස්තුවර්ෂ 43දී එංගලන්තයට ඇතෙකු රැගෙන ආ බව ඉතිහාසයේ සඳහන් වන අතර පසුකාලීනව එංගලන්තයේ අලි සංරක්ෂණ සංවිධානයක් ඇති කරන ලදී,මෙම සංරක්ෂණ ක්‍රියාවලිය ඔස්සේ ආසියානු රාජ්‍යයන්හි සිටින අලි ඇතුන් සංරක්ෂණය උදෙසා අරමුදලක් එකතු කරනු ලබන අතර එය හඳුන්වන්නේ Elephant Parade Conservation campaign යන නමිනි. චාල්ස් කුමරුගේ ඥාතිවරයකු වන මාර්ක් ෂෑන්ඩ් මෙම මෙහෙයුමේ භාරකරු වන අතර ඔහු විසින් මෙහි ප්‍රධාන මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබයි.ජෝ ඇනා ලුම්ලා මහත්මිය මෙහි ප්‍රධාන අනුශාසක ධුරය උසුලයි.

අලි ආච්චි ලෙස හඳුන්වනු ලැබූ ලොව වයස්ගතම කෙනර වන දක්ෂයානි නම් හිලෑ කෙනර ඉන්දියාවේදී වසර 88ක් ආයු වළඳා මිය ගියාය.මෙම කෙනර කේරළ ප්‍රාන්තයේ චෙන්ගලුර් කෝවිලේ උත්සව සහ පෙරහැරවල් සහභාගී කරවා ඇත.ගිනස් වාර්තා පොතට අනුව නම් ලොව වයස්ගතම හිලෑ  අලියා වන්නේ ලින් වෑ  ය.2017දී ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේදී මිය ගිය ඉන්දිරා නමැති ඇතින්න   වයස 85-90ත් අතර කාලයක් ජිවත් විය.

ලොව ජෛව විවිධත්වය අතින් ශ්‍රීලංකාව ද  ප්‍රධාන තැනක් ගන්නා රටකි.දැනට ලොව පවතින්නේ අලි විශේෂ දෙකක් පවතින  අතර  ඔවුන් නම් අප්‍රිකානු  ( Loxodonta African )සහ ආසියානු  වන (Elephas Maxims) වේ. ආසියානු අලින්ගේ උප විශේශිතයක් වන මොවුන් අප්‍රිකානු අලින්ගේ උප විශේෂ දෙකට  වඩා කුඩා වේ. පැරණි මතිමතාන්තර වලට  අනුව ලංකාව , දකුණු ඉන්දියාවේ කොටසක් ව පැවති අවධියේදී ලංකාවට ඉන්දියාවෙන් අලින් පැමිණි බවද එක්  මතයකි.

මේ වන විට ආසියානු අලියා වාසය කරන්නේ ඉන්දියාව භූතානය, බංගලාදේශය වියට්නාමය ලාඕසය නේපාලය , මියන්මාරය ,තායිලන්තය සුමාත්‍රා සහ ශ්‍රීලංකා යන රටවලය. ආසියානු අලියා ලොවින් වඳවීයන  බවට ඇති ප්‍රධාන සාධකය වන්නේ ඔවුන් රතු දත්ත පොතට ඇතුලත් වීමය.

ලංකාවේ සිටින  විශාලතම ක්ෂීරපායි සත්වයින් අතර අලි ඇතුන් ප්‍රධාන වේ.අලින් හා අපේ සංස්කෘතිය අතර ඇති අවියෝජනීය සම්බන්ධතාවය අපුරුය. අලින් පිළිබඳව පැරණි ජනවහරේ විවිධ ව්‍යවහාරයන් පවතී.
" අලි බැලීමත් බලි බැලීමත් ඇති වන්නේ නැහැ යනු එක් මතයකි. අපේ පැරණි මානවයා සහ අලි අතර ඇති සබැඳියාව ගල් යුගයේ ගල් ගුහාවල තිබී හමුවුණු පැරණි චිත්‍ර වලින් අපට ඔප්පු වේ.

වසර ගණනක සිට ලංකාවේ ජිවත් වන අලි ඇතුන් ට උදාවී ඇත්තේ අසතුටුදායක වාතාවරණයක් වන අතර පසුගිය කාල සීමාව ඇතුලත ගල්ගමුවේ දලපුට්ටුවා ඇතුළු තවත් දළ ඇතුන් සහ අලින් ඝාතනයට ලක්  වූ බව ලාංකීය වැසියන්ට නොරහසකි.

අලින් යනු අර්ධ ජලජ සත්වයකු වන අතර ශාක භක්ෂක සතෙකි.මොවුන්ගේ විශාල මාංශ පේශි ක්‍රියාකාරිත්වය හේතුකොටගෙන මොවුන්ට බොහෝ සෙයින් උණුසුම දැනේ.මොවුන්ගේප්‍රධාන ආහාරය  කොළ වර්ග වන අතර  , ගම වදින අලි ඇතුන් ගොයම් , දිඹුල්,වට්ටක්කා කොමඩු වැනි දේ ආහාරයට ගනී. මේ වන විට උඩවලව ,යාල, විල්පත්තු  , වස්ගමුව වැනි ජාතික වනෝද්‍යාන වල  විශාල වශයෙන්ද ශ්‍රීපාදය , ශ්‍රීපාද  සිංහරාජ වැනි වනාන්තර වල අලි සහ ඇතුන් ස්වල්ප දෙනෙක්ද ඉතිරිව පවතී.

2011 වන විට ලංකාවේ අලි ගහනය 5879ක් වූ අතර දැනට සිටින අලි ඇතුන් සංඛ්‍යාව  2500කටත් වඩා අඩුය. සේද මාවතේ සිදුවූ වෙළඳාම් අතර ඇත දළ සහ ඇත් දළ වලින් නිමවුණු කැටයම් භාණ්ඩ වලට විශේෂිත ස්ථානයක් හිමි විය. ඒ අනුව  ශ්‍රී ලංකාවේ ඇත් දළ සහ අලි ඇතුන් වෙළදාමට   වසර 2000කට වඩා  අතීතයක් පවතී. 18 වන සහ 19 වන සියවසේදී ලංකාවේ බොහෝ වශයෙන් අලි ඇතුන් දඩයමට ලක් විය. බ්‍රිතාන්‍යයන් ශ්‍රීලංකාවේ ව්‍යාප්ත කල කොපි සහ තේ වගාව මෙයට ප්‍රධාන හේතුවක් විය,මෙම ඓතිහාසික තොරතුරු බ්‍රිතාන්‍ය ජාතික ලේඛකයින් අතින්ම ලියැවුණු  අලි පාර, තිත්ත කොපි , පාරාදිසියට සඳ පායයි යන කෘතීන් වල අන්තර්ගත වේ.

මේ වන විට දළ ඇතුන් සිටින්නේ මුළු ගහනයෙන් 5%ත් 7%ත් අතර ප්‍රමාණයකි.දැනට ඇති අලින්ගේ මරණ වාර්තා වලට අනුව 2018 ජනවාරි 1 වැනිදා සිට ඔක්තෝම්බර් 1 වැනිදා දක්වා  මරණ 271ක් සිදු වූ බවට වාර්තා වේ.

මේ වන විට අලින් රැකබලාගැනීම උදෙසා ලංකාවේ ඇති එකම ස්ථානය කෑගල්ලේ රඹුක්කන පිහිටි  පින්නවල අලි අනාථාගාරයයි..මේ අලි ඇතුන් සම්බන්ධ කෞතුකාගාරයක් ලෙසද ප්‍රචලිත වන අතර ප්‍රදර්ශනාගාරයක්,  විදේශ විනිමය උපදවන ප්‍රධාන සංචාරක කේන්ද්‍රස්ථානයක් සේම සංරක්ෂක ආයතනයක් ලෙසද ප්‍රචලිතය. මෙය 1975 දී ස්ථාපනය කළ අතර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සඳහා අක්කර 25ක භුමි බාගයක් වෙන් කරන ලදී.1987දී මෙය ජාතික සත්වෝද්‍යානය භාරයට පත් කල  අතර 1982දී සත්ව අභිජනන ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී. මෙම ස්ථානය පිලිබඳ විවිධ පර්යේෂණ වාර්තාසහ පොත් පත් ලියවී ඇති අතර සත්ව සුබසාධනයට අදාලව Born Free Foundation වාර්තාවට ද  විෂය පාදක විය.




Sunday, August 11, 2019

චෙරි වත්ත

ශ්රේෂ්ඨ රුසියානු ලේඛක ඇන්ටන් චෙකොෆ්ගේ "ද චෙරි ඔචාර්ඩ් කතාව ඇසුරෙන් චෙරි වත්ත නමින් රන්ජිත් ධර්මකිරිති මහතා මහතා 1986 දී පරිවර්තනයට ලක් කරන ලද අතර මහා ගෙදර නමින් සිංහල වේදිකාවට මෙය ගෙන ආවේය. ලෝකයේ විශිෂ්ට නාට්ය දහය අතරට මේ නාට්යයත් ඇතුලත් බව විචාරකයන් විසින් නම් කර තිබේ.

මෙය විශිෂ්ට දෘශ්ය කාව්යයක් විදියටත් ගැනෙන අතර මෙහි අන්තර්ගතය වන්නේ රුසියානු රදළ වැඩවසම් සමාජ ක්රමය බිඳවැටි ධනවාදය හිස ඔසවන කාලයේ වහලුන්ට නිදහස ලැබීම තුළ වහලෙක්‌ ධනපතියෙක්‌ බවට පත්වෙන අතර. ඔහු රදළ සිටුවරයෙකුගේ වත්තක්‌ අයිතිකරගැනීම වටා ගෙතුණු කතාවකි.. එනම් පිරිහී යන වැඩවසම් සමාජය සහ අලුතින් බිහිව එන ධනපති වාණිජ සමාජයත් අතර සන්ධිස්ථානයක් ලෙසින් චෙරි උයන ඇන්ටන් චෙකොෆ් විසින් මෙහි වස්තු විෂය විකාශනය කරන අතර පවතින ක්‍රමයේ සහ නැගී එන ධනපති පන්තියේ අනිටු ප්‍රතිපල දකී.

මෙම කතාවේ ධනපති පන්තිය නියෝජනය කරන ලොප්කින්ගේ හැසිරීම ඇන්ටන් චෙකොෆ් අනුමත නොකරන ලද අතර චෙරි උයන වටා ගෙතුණු අතීත මතකයන් කේන්ද්‍ර කොටගෙන ඔවුන්ගේ සිත් තුල ඇතිවන මනෝභාවයන් ජිවිත තුලට අන්තර්ගත වෙන ආකාරයත් සිහින ලෝක තුල ජිවත් වෙන ගයෙෆ් ගේ සහ රැනවෙස්කෙයා ආර්යාවගේ ජිවිත තම පවුලේ මාන්නය රැක ගැනීම උදෙසා ගෙවන නිර්ලෝබි ජිවිතයේ අවිනිශ්ෂිත බව ඉතාමත් අපුරුවට මේ කෘතිය ඔස්සේ ගෙන හැර පායි.

ට්‍රොපිමොෆ් දාර්ශනික අදහස් ඇත්තෙක් ලෙස සැලකුවත් ක්‍රියාවෙන් සටන කර තම ජීවිතය හැඩ නොගස්වා ගන්නා චරිතයක් ලෙසත් දක්වන කතුවරයා ඒ ඔස්සේ රුසියානු ජන සමාජයේ වෙසෙන අලස බුද්ධිමතුන්ව මතු කර දක්වා ඇත.
මෙහි අතර්ගත සියලුම චරිතයන් ට වඩා වෙනස් වූ ෆියර්ස් මිය යමින් පවතින වැඩවසම් යුගයේ ප්‍රතිමුර්තයක් වේ. වහලුන් නිදහස් කල දිනය ඔහු සලකන්නේ විනාශයකට මුලාරම්භය දුන් දිනයක් ලෙසය. සියල්ලන්ම නිවාස අත්හැර ගිය පසු ඔහු වේදිකාවේ කොනක වැතිරෙන්නේ තමන් කිසිවකුට ප්‍රයෝජනයක් නැති මිනිසකු බව තේරුම් ගනිමිනි. මෙහිදී චෙරි උයනේ ගස් කපා දමන හඬ වේදිකාව පසෙකින් ඇසෙන්නට සලස්වයි.

චෙරි උයන මෙම නාට්‍යයේ බහුවිධ අරුත් සංකලනයක් ලෙස කතුවරයා දක්වා ඇති අතර ගෙවුණු ජිවිතයේ අතිතස්මරනයක් ලෙස දක්වා ඇත. මෙම කතාවේ අන්තර්ගත වන විවිධ දේ ඔස්සේ ගතවුණු අතීතයේ යම් යම් දේ පිලිබඳ ඉඟි ඇන්ටන් චෙකොෆ් විසින් පාඨකයාට ලබා දේ. මෙහි ඇතුලත් වන පොත් අල්මාරිය රදළයින්ගේ මියැදුණු සංස්කෘතිය පෙන්නුම් කරන අතර ඒ ඔස්සේ නව චින්තයනයක් ඇති වෙමින් පවතින බව පිලිබඳ ඉඟියක් ලබා දේ.

චෙරි උයන කෘතිය තුළින් ඇන්ටන් චෙකොෆ් ගේ නිර්මාණශීලි කුසලතාවය මොනවට පැහැදිලි වන අතර පැතලි චරිත නොව ලෙයින් මසින් සැදුණු මිනිසුන්ගේ කතාවක් ලෙස මෙය හැඳින්විය හැකිය.චෙරි උයනෙන් ලබපු අභාෂය හේතුවෙන් "ගම් පෙරළිය" නව කතාව ලිවුවා බව වරෙක මාර්ටින් වික්රමසිංහයන් පවා කියා තිබුණා.

1956 දී මහගෙදර නමින් මෙම චෙරි උයන වෘතාන්තය සිංහලෙන් නිෂ්පාදනය කල අතර මෙහි අනුවර්තනයක් නරඹා තිබු මාර්ටින් වික්‍රමසිංහයන් පැවසුවේ

" එහෙත් විවිධ තරාතිරම් වලට අයත් වැඩවසම් හා ගොවි ජීවිතය අතර පවත්නා සමීප සම්බන්ධය තවමත් ලංකාවේ පවතී.චෙරි උයන නාට්‍යයෙන් නිරූපිත ජීවිතය වූ කලි වර්තමාන ලංකාවේ ජීවිතය දත් බුද්ධිමත් සිංහලයෙකුට යල්පිනුවක් හෝ තේරුමක් නැත්තක් හෝ නොවේ. " යන්නයි.

මෙම කතාවේ අන්තර්ගත සමාජ ක්‍රමය , පෙන්නුම් කරන ආර්ථික ක්‍රමය මෙන්ම භාවමය ජිවිතයද ලාංකීය ජන සමාජයට අනුගත වේ. මුල් කෘතියේ අන්තර්ගත විශේෂ ලක්ෂණ , පසුබිම් හා භාෂාව හසුරුවන විලාසය පරිවර්තන කෘතියේද මුල් කෘතියට හානියක් නොවන පටිද්දෙන් රැක ගැනීමට රංජිත් ධර්මකීර්ති මහතා විසින් ගත උත්සාහය සාර්ථක වී තිබේ.

මෙම කතාවේ එන චරිත අතර ලොප්කින් ,ලුබෝෆ් රන්වෙස්ක්යා ආර්යාව, ග්රීෂා, ගයේෆ් ෆියර්ස් යන චරිත වටා චෙරි උයන කතාව ගොනු වී තිබේ,පිරිහී යන වැඩ වසම් සමාජ පන්තියත් නැගී එන ධනේශ්වර සමාජ ක්රමයත් අතර ප්රධාන සන්ධිස්ථානයක් ලෙස මෙහි කතාව ගොඩ නගන අතර මෙහි දුර්විපාක හොදින් මතු කර දක්වයි.


සේයා රු - අන්තර්ජාලයෙන්

නිලක්ෂි බණ්ඩාර
06/08/2018

Friday, August 9, 2019

එක වහල යට - චම්පිකා විජේසිංහ මහත්මිය


No photo description available.

මහාචාර්ය හේමපාල විජයවර්ධනයන්ට අනුව කවියාගේ මාධ්‍යය වචන වේ.රස නිපදවීම සිදුවන්නේ කවියා වචන හසුරුවන ආකාරයේ දක්ෂකම උඩයි.කාව්‍ය විචරයෙදී මෙන්ම රසස්වාදයේදීත් සහුර්දයාගේ විග්‍රහයට හසුවන්නේ මේ වචන ප්‍රබන්ධයයි.ඔහු රසය දකින්නේ මේ කවාටය තුළිනි.එහෙයින් කාව්‍යයක අගය විමසිය යුතු වන්නේ භාෂාව හෙවත් වචන සමුහය පරික්ෂා කිරීමෙනි, කාව්‍යයේ පරමාර්ථ පරික්ෂා කළ හැකි වන්නේ එම පරමාර්ථය සාර්ථක වී ද යන්න සලකා ගත හැකි වන්නේ වචන යන මාධ්‍යය තුළින් පමණි.

අප ජිවත් වන සමාජයේ ,වටපිටාවේ අප දකින සිදුවීම් කේන්ද්‍ර කොටගෙන සිතේ ඇතිවන මනෝ භාවයන් කවියට නැගීම අද කාව්‍ය ලොව පුරා දක්නට ලැබෙන සිදුවීමකි. ඒ අතර රැකියා ස්ථානයන්හි ඇතිවන ගැටළු , කුටුම්භය තුල ඇතිවන සියුම් වූ ඝට්ටනයන්  මවුපිය දරුවන තුල ඇතිවන සුළු සුළු ගැටුම් ඔවුනතර ඇතිවන සෙනෙහස , ප්‍රේමය වර්තමානයේ ලොව පුරා දක්නට ලැබෙන අනෙක විධ ඝට්ටනයන් අපට ඉතාමත් අපුර්ව ලෙස චම්පිකා විජේසිංහ මහත්මිය විසින් රචනයට පත්‍ර කරන ලද එක වහල යට කාව්‍ය සංග්‍රහයේදී  රස විඳින්නට ඉඩ හසර ලබා දී තිබේ.

සාමාන්‍ය මනෝභාවයන්ට වඩා විරෝධාකල්ප හැඟීම් දනවන නිර්මාණද අපට රසවිඳීමට ඇය ඉඩ සලස්වා තිබීම විශේෂිත වූ කරුණකි. උපමා රූපක ඉතාමත් අඩු සංඛ්‍යාවක් කවියට උපයුක්ත කර ගනිමින් මෙම සෑම නිර්මාණයක්ම පාහේ ඇය නිර්මාණගත කර තිබේ.සෑම නිර්මාණකරුවකු ම පොදුවේ භාවිත කරන උපමාවන්ට වඩා  තමන්ට පමණක් අවේණික වූ උපමා හා සංකේතයන් ඇය මෙහිදී භාවිතා කර තිබෙනු රස විඳින පාඨකයාට දක්නට ලැබේ. එමෙන්ම අපිට රසවිඳීමට ඉඩ ලබා දී ඇති නිර්මාණ තුලට උපහාසයද ගැබ් කර තිබීම තුලින් සමාජයේ සිදුවන සිදුවීම් හාස්‍යට ලක් කිරීම මෙම නිර්මාණ ඔස්සේ සිදුවී ඇත.

ධ්වනිවාදය අපට මෙම නිර්මාණ තුළින් දක්නට ලැබෙන අතර  වච්යර්ථය යටපත් කරගෙන නැගෙන්නාවූ ව්‍යන්ග්‍යර්තයෙන් යුත් කාව්‍ය නිර්මාණ මෙම ග්‍රන්ථය ඔස්සේ දකින්නට ලැබේ.මෙහිදී මුලික ලක්ෂණයක් වන්නේ වච්යර්ථයට වඩා ව්‍යන්ග්‍යර්තය වැදගත් ස්ථානයක් දැරීමයි.
එම ව්‍යන්ග්‍යර්තයෙන් උපහාසය දනවන ලද කවියක් ලෙස ඇය විසින් පොතට අන්තර්ගත කර ඇති පැය අටේ මිතුරිය කාව්‍ය නිදසුනක් ලෙස ගත හැක.

එක පතේ වලඳනා
මුහුණට සිනා පා
කෙළිකවට බස් තෙපලන
පසුපස හැරී සැනෙකින්
ඇද  පළුදු අහුලන

 මේ කවියෙන් අප ජිවත් වන වටපිටාවේ ඇති කැඩී බිඳී යන මානුෂිය සම්බන්ධතා පිලිබඳ ඉඟියක් නොවේද ?අප අපේම යයි හැඟීමෙන් සිතා සිටින පුද්ගලයින්ම අපට මුහුණට සිනා සි අපට වරදින්නේ කොයි මොහොතේදැයි සිතමින් සිටිනාකාරය අප නොසිතු මොහොතක අපට වරදක් වූ විට සිනාසීමට බලාගෙන සිටිනයුරු උත්ප්‍රස රසය ගැබ් කරවමින් මෙම කවියේ අනුභූතිය කර ගැනීම ඉතාමත් අපුරුවය.

එලෙසින්ම 176 කතාවක් කාව්‍ය තුලින් තම අසරණකම නිසාවෙන්ම මහා මග සිටින මිනිසුන්ගේ අතෘප්තිකර හැඟීම් සංතෘප්ත කරවන මිනිසුන් විසින් විවිධ නාමකරණයන්ට ලක් කරන අසරණ වූ ගැහැණියකගේ මාතෘත්වය පිලිබඳ හදවත සංවේදනාත්මක හැඟීමකින් ස්පර්ෂිත කරවයි.මෙහිදී තම දියණියගේ සැප සතුට උදෙසා තම ජීවිතය සහ ආත්මය කැප කරන ආකාරය මෙම කවිය ඔස්සේ රස විඳින පාඨකයාට විඳිය හැක. ඒ වුනත් ඇයගේ සිතේ දුවණිය පිලිබඳ වෛරයක් හෝ කෝපයක් හට ගන්නේ නැත. ඇතිවන්නේ දාරක සෙනෙහසක් සහ ප්‍රේමයක් පමණි.

ඒ බව මනාව වටහාගත හැක්කේ

මා සතු එකම වත්කමය  ඈ
පිය උණුසුම අහිමි
සියුම් අතැඟිලි වලින් මා වෙළා
නෙක සුරතල් වදන් දොඩන්නි
මගේ තාත්ති කෝ අසන්නි

අහිමි පිය සෙනෙහස අභිබවා මෙම කාන්තාව දරුවාට මවු සෙනෙහස පුදන්නිය. පියාත් මවත් යන දෙදෙනාම විසින් දැරිය යුතු වගකීම් සියල්ලම මැය සියලු දුක් දරමින් දරුවාට නොපෙනෙනට කඳුළු සලමින් උසුලන්නිය.පුර අඟනක් වුනත් ඇයගේ සිතේ ඇති දාරක සෙනෙහස මුළු කාව්‍ය පුරාවටම අපිට දක්නට ලැබේ.
එම සෙනෙහස නිසාවෙන්ම එදින ඇය හමුවට එන ගණුදෙනුකරුගෙන් දියණියව සත්තු වත්තට කැඳවා ගෙන යාම පිණිස ඉඩ දෙන ලෙස දයනුකම්පත ව අයාචනා කරනු ලබයි.එය

අදට නිදහස දෙන්න
ඇයට ඕනැලු
සත්තුවත්තට යන්න

ඉතාමත් සරල භාෂාවක් ඇය තම හැඟීම් නිරුපණය කිරීම උදෙසා භාවිත කරන අතර සරල කව්යෝක්ති ඔස්සේ තම හැඟීම පාඨකයා වෙත ලංකරනු දැකිය හැක.මෙම සෑම කාව්‍යයක් ඔස්සේම රචිකාවගේ ප්‍රතිභා ශක්තිය ඉස්මතු කරවයි.එනම් ඇය විසින් අප මැනවින් දකින අසන දේ ඇසුරින් අපුර්වතම නිර්මාණය කිරීමයි.එම නිර්මාණයට හේතුවන අමුද්‍රව්‍ය අප ඇස ගැටෙන සිදුවීම්ය.

ප්‍රතිහාව පරිකල්පන ශක්තිය ඔස්සේ ගොඩ නැගෙන්නකි.එම පරිකල්පන ශක්තිය මැනවින් ගොඩ නැගෙන  නව සංකල්පනා රූප බිහි කල තවත් කාව්‍ය නිර්මාණයක් නම්  පහන් කණුව පාමුල නාදුනන  පුතුට කවයි.

නුවර වැව අද්දර
වීදි පහන් කණුව පාමුල
නෙතු අලවා පාඩම් පොතෙහි
නොසැලී සෙල් රුවක් සේ
පුතුනි නුඹ සිටියා

එක අහඹු මොහොතක
කළුවර සළු පෙරවූ
පාළු සීත රැයක හුදකලාව

 මහා රැයේ විදි සරණ කාන්තාවකට පහන් එළියෙන් පාඩම් කරන පාසල් දරුවකු දක්නට ලැබේ. එම රාත්‍රිය බොහෝ සීතලය පාලුය මදුරුවන් ගී ගයන රැයකි.එම දරුවා ඇයගේම දරුවකු නොවුනත් තම දිවිය වෙර විරියෙන් ගොඩ ගැනීමට දරන උත්සාහය දැක ඇයගේ පපුව දවා යයි. ලොව කොයි මවත් එකම දරු දුක විඳින බව මෙම කවිය ඔස්සේ අපිට තෙරුන් ගත හැක..එම නිසාම ඇය ඔහු කෙරෙහි සෙනෙහෙ සිතින් සිදු කරන ප්‍රාර්ථනාව අවසන් කවියෙන් අපිට රස වින්දනයට ලක් කල හැක.

දැනෙන දැනෙන කුස ගින්දර නිවියන්
උණන උණන කඳුළු සුසුම් මැකියන්
තබන තබන පියවර මල් පිපියන්
දකින දකින සිහින සැබෑ කෙරියන්.
 මෙම කාව්‍ය කෘතියෙහි ඇතුලත් වූ කාව්‍ය අතුරින් මා සිත්ගත් කාව්‍ය වුයේ මෙයයි.මේ ඔස්සේ සමාජයේ පවතින දරිද්‍රතාවයේ ඇතුලාන්තය දරුවන්ට බලපාන අන්දම මැනවින් පෙන්නුම් කරනු ලබයි,

චම්පිකා විජේසිංහ මහත්මියගේ මෙම කුළුඳුල් කාව්‍ය කෘතියෙහි ඇති කුඩා අඩුලුහුඬුකම් සාදාගෙන සතාතාබ්යාසයෙහි යෙදීම මගින් මෙම කාව්‍ය කරණය තව තවත් වැඩි දියුණු කර ගත හැකි බව හොදින් වැටහේ. එක තැනක නොරැඳී වෙනස්වෙන කාව්‍ය බස තව දුරටත් වර්ධනය කරගනිමින් පොදු නොවූ විවිධ ආකෘති ඔස්සේ නිර්මාණ සිදු කරමින් නිර්මාණකරණයෙන් ගුණාත්මකව දිගු දුරක් යාමට චම්පිකා මහත්මියට හදවතින්ම සුබ පැතුම් එක් කරමි.
                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                     






Monday, August 5, 2019

12.12.12 -මංජුල සේනාරත්න මහතා


ලාංකීය සාහිත්‍ය ලොව ස්වතන්ත්‍ර අභිරහස් නව කතා  රචකයින් අතර භද්‍රජි මහින්ද ජයතිලක මහතා, අනුර දිසානායක මහතා  වැනි දක්ෂ ලේඛකයින් මුල් තැන ගන්නා අතර එම ලේඛන සාහිත්‍යට පෑයූ අපුර්වතම කතුවරයා වන්නේ මංජුල සේනාරත්න  මහතාය.

මුලින්ම  මෙම කෘතියෙහි පුර්ව ප්‍රචාරක පටය නැරඹු අතර එම කෙටි වීඩියෝව කුතුහලය සිතට නැංවූ කෙටි චිත්‍රපටයක් ලෙස දැනුණ අතර එය ඉතාමත් ගුණාත්මක බවින් යුක්තය.පැරිසියේ ජිවත් වෙන මෙම අපුර්ව කතුවරයා මෙම රහස් පරීක්ෂක කෘතියට පාදක කර ගන්නේද සීතල දෙසැම්බරයක පැරිසියේ සිදුවූ අනුවේදනීය සිදුවීමකි.

සුන්දර වුද අහිංසක කාන්තාවක සහ දරුවකුගේ බිහිසුණු මරණයකින් ලොව සුන්දරතම ප්‍රේමයේ නගරයම කැළඹී ගියේය.මෙම මරණයේ විශේෂත්වය වනුයේ මිනීමැරුම පිළිබඳව කිසිම හෝඩුවාවක් මිනීමරුවා විසින් ඉතුරු කර නොතිබීමයි.අඩුම තරමේ ඇඟිලි සලකුණක් වත්.ෂර්ලොක් හොල්ම්ස් වැනි වූ දක්ෂතම පොලිස් පරීක්ෂක වරියක වූ මදාම් නතාලි මුණේ යනු මෙවැනි අපරාධයන් රැසක් විමර්ශනය කරන ලද තැනැත්තියකි. නමුදු මදම්  ඇතුළු පැරිස් අපරාධ විමර්ශන කණ්ඩායමට මෙම අපරාධය අගක් මුලක් සොයා ගත නොහැකි උබතොකොටික ගැටළුවක් විය.ඔවුන්ට ඉතිරිව තිබුනේ දින කීපයකි.මන්ද මෙම මිනීමරුවා එතරම් සුක්ෂමව මෙම මිනි මරුම සිදු කර තිබුණි,.

පාඨක සිත පොත අවසානය වන තෙක්ම කුතුහලයෙන් පොත වෙතම රඳවා ගැනීමේ හැකියාවක් සහිත වූ මෙම කතාවේ ආකෘතියද ඉතාමත් සැලසුම් සහගත ව ගොඩ නැගු ආකෘතියක් වේ.මෙම කතාව රචනා කිරීමේදී එම කතාවට පාදක වූ ස්ථානයන් පිලිබඳ මනා ගවේෂණයකින් යුක්තව යොදාගෙන තිබීම සුවිශේෂි ලක්ෂණයක් වේ.මම කියවූ රහස් පරීක්ෂක කෘතීන් අතරින් සාර්ථකම කෘතිය ලෙස මෙය හැඳින්විය හැකිය.මන්ද එතරම් රසවත් ,සිත් ඇඳ බැඳ ගන්නා සුළුවූ රසවත් ලේඛන ශෛලියක් හෙබි මංජුල සේනාරත්නයන් චිත්‍රපටයක්  බලනවා යන හැඟීම පාඨක සිතට දෙමින් චිත්ත රුප මවමින් මෙම කෘතිය රචනා කර තිබීමයි.

කතාව ආරම්භයේදී අප තබා සිටින නිගමනයන් කතාවේ අවසාන භාගය වන විට  වෙනමම ලෝකයක අපව අතරමන් කරවයි.ලාංකීය සාහිත්‍ය කලාවේ නවමු මානයකට මෙම කතාව හරවන ලද අතර නවමු ලක්ෂයකට ගෙන යයි.පොත් කියවීමට අකමැති වූ අභිරහස් චිත්‍රපට වලට පමණක් ලං වූ පිරිසක් කියවීමට ඇබ්බැහි කරවීමට මෙවැනි පොත් උපයුක්ත කර ගත හැකිවීම සුවිශේෂී වේ.වචන්ර්ථයෙන්  ගත් කල 12.12.12 හෙවත් කල්පනා මැරූ සීතල දෙසැම්බරය ඉතාමත් විශිෂ්ඨ ඝනයේ ත්‍රිලර් නව කතාවක් ලෙස හඳුන්වා නොදුන්නොත් එය මෙම පොතට මෙන්ම කතෘ තුමාටද කරන අසාධාරණයක් ලෙස මට හැඟීමක් ඇති වේ.

සංකීර්ණ මිනිස් සිතේ ඇතිවන චිත්ත වේගයන් සහ සංකුලතා පිලිබඳ මනා අවබෝධයකින් මෙම චරිතයන් රචකයා විසින් හැඩගස්වා තිබීම මෙහි දක්නට ඇති තවත් සුවිශේෂී ලක්ෂණයකි.මිනිසුන් තම ජිවිත අභිමාර්ථයන් මුදුන් පමුණුවා ගැනීම උදෙසා මෙතරම් විසල් අපරාධයන් සිදු කරනවාද යන සැකය සිතේ ඇති වුනි.එය සිතට ගෙන ආවේ පිළිකුල් සහගත පුදුමයකි.  මෙම කතාව රචනා කිරීමේදී රචකයා විසින් සිදුවන සිදුවීම් කොටසින් කොටස ගලපමින් ප්‍රංශ සමාජයේ ඇති නීති පිළිබඳව, පොලිස් විමර්ශනයන් පිලිබඳ සහ පොලිස් ස්ථනයේ ආකෘතිය පිලිබඳ වූ මනා වැටහීමකින් යුතුව ,එමෙන්ම එහි අපරාධ විමර්ශනයන් පිලිබඳ පැරිස් පොලිස් නිලධාරින් විසින් අනුගමනය කරන්නාවූ විශ්ලේෂණයන් සහ නිගමනයන් පිළිබඳව මනා අවබෝධයකින් යුක්තවීම මෙම කතාවේ සාර්ථක භාවයට ප්‍රධානම හේතුව වේ.

එමෙන්ම වර්තමානයේදී බොහෝ විදේශ රටවලදී අපරාධකරුවන් සොයා ගැනීමට භාවිතා කරන තාක්ෂණික ක්‍රියාවලියක් වූ රොබෝ පින්තුර ඇඳීමේ ක්‍රියාවලිය හෙවත් Facial Composite ක්‍රියාවලිය පිළිබඳව මෙන්ම සියුම්වූ හෝඩුවාවන් ඔස්සේ හඹා යමින් සිදුකරන ලද මෙම දැවැන්ත ක්‍රියාදාමය දින 9ක් ඔස්සේ සිදුකරමින් සිදු කරන්නාවූ සුවිශේෂී පරීක්ෂණය පිලිබඳ දැනුමකුත් ලබා දෙමින් 12.12.12 නව කතාව රචනයට පාත්‍ර කර තිබීම වඩාත්ම විශේෂ වේ.එලෙසම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරිය වූ නතාලි ඇතුළු ව භාතියගේ , සොෆි , මර්වාන් යන සියල්ලන්ගේම චරිත ලක්ෂණයන් මනාව පෙන්නුම් කරමින් ඔවුන්ගේ විවිධාකාර වූ මනෝභාවයන් උද්දීපනය කරමින් මෙම සියලු චරිතයන් ගොඩ නඟා තිබේ.

පොත කියවා අවසන් වුවත් සිදුවුනේ කුමක්ද යන්න සිතා ගත නොහැකි තරමට කුතුහලය අදටත් සිතේ ලැඟුම් ගෙන තිබෙන හැඟීමකි. ආදරණිය කාන්තාවකුත් කුඩා දරුවකුත් අමානුෂික ලෙස ඝාතනය කිරීමට තරම් මිනිස් සිතක් දරුණු විය හැකිද?මෙතැන් සිට පොත කියවීම ඔබට බාර කරමින් මෙම සටහන අවසන් කරමි.

මංජුල සේනාරත්නයන් විසින් රචනයට පාත්‍ර කරන ලද කල්පනා මැරූ සීත ය නිසැකවම සම්මානයට පාත්‍ර විය යුතු කෘතියක් බව මා ඇතුළු මෙම කතාව රසවිඳි සියලුම පාඨකයන්ගේ අදහස වේ.ඉතින් සොයුර  ලාංකීය සාහිත්‍ය කලාවේ උන්නතිය උදෙසා තවත් මෙවැනි අපුරුවතම කෘතීන් රැසක් බිහි කිරීමට ඔබට ධෛර්ය හා ශක්තිය ලැබේවා යන්න ප්‍රර්ථනා කරමි! නිර්මාණකරණයෙන් දිගු ගමනක් යාමට මේ තැබූ නවමු ලක්ෂය ඔබට තව තවත් පිටුවහලක් වේවා!

12.12.12
රචනය - මංජුල සේනාරත්නයන්
ප්‍රකාශක - මියුසස් ප්‍රකාශන ආයතනය
රු 1000