Sunday, November 3, 2019

ජොආනා -ජීන් සැසන්


ජින් ජැසන් ලොව පුරා සංචාරය කරන ලද ලේඛිකාවක් වන  අතර ඇයගේ කෘතීන් ලොව පුරා හොඳම අලෙවි වාර්තා තබා ඇත.එමෙන්ම ලොව බොහෝ දුක් විඳි කාන්තාවන් ඇය සමගින් තම ජිවිත තතු හෙළිදරව් කල අතර ජින් ගේ බොහෝ කෘති වලට පාදක වුයේ මෙම සත්‍ය සිදුවීම් වීම සුවිශේෂී කරුණකි.ලෝකයේ විවිධ  සමාජයන් පිලිබඳ අධ්‍යයනය කරනන් විසින්  මෙම කෘතීන් අනිවාර්යෙන් කියවිය යුතු අතර ජෝආනා හෙවත් බිඳී ගිය ඉරාකයේ කුර්ද් ජාතික පෙම්වතියකගේ කතාව ඇය විසින් රචනා කරන ලද අපුර්වතම නවකතාවක් වේ.

ජෝආනා නවකතාව ඔස්සේ සදාම් හුසේන් ගේ පාලන සමයේ ඉරාකයේ කුර්දිස්ථානයේ ජිවත් වූ ජෝආනා අල් අක්සාරි හුසේන් නම් කාන්තාවක කුර්දිවරයකු හා පෙමින් වේලෙන ආකාරයත් ඔවුන් කුර්දිෂ් ජනයාගේ නිදහස වෙනුවෙන් සටන් කරන ආකාරයත් මෙම කතාව ඔස්සේ පාඨකයාට ලං කර ඇත.මෙම කතාව වාර්තාමය ස්වරුපයෙන් රචනා කර ඇති අතර කියවන්නාට තේරුම්ගත හැකි සරල භාෂා රටාවකින් යුතුය.මෙහි අන්තර්ගත කරුණු පාඨකයාගේ සිතේ යුද්ධයෙන් පිඩා විඳින මිනිසුන් කෙරෙහි අනුකම්පාවක් මෙන්ම යුද්ධයකදී මුහුණ පෑමට සිදුවන රසායනික බෝම්බ ප්‍රහාර වැනි නවමු අත්දැකීම් රාශියක් පාඨකයා වෙත ලං කරයි.

ජෝආනා කතාවේ එම තරුණියව වීරවරියක් ලෙස හඳුන්වන  අතර මෙය අනුවේදනීය ප්‍රේම වෘතාන්තයක් වේ.උතුරු ඉරාකයේ කඳු අතර සහ බැග්ඩෑඩයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයන්ට ඇය මැදිවූ ආකාරය පාඨකයා ලොමු දැහැගන්වන සුළුය. මෙම වකවානුවේදී ඉරාක හා ඉරාන හමුදාව අතර දිගින් දිගටම සටන් පැවතී අතර බැග්ඩෑඩ් අගනුවරට ඈතින් පැවති කුර්ගිස්තාන් ප්‍රදේශයේ ජනතාවගේ සහය ඉරානයට ලැබුණි.එයට හේතුව  කුර්ද්වරුන් ඉරාක අරාබිවරුන්ගේ හිංසනයට ලක්වීමයි.සාමාන්‍ය ජන ජීවිතය මෙන්ම කාන්තාවන්ද එකල   දැඩි හිංසනයකට ලක් විය.වාහන ,ගෙවල් දොරවල් පවා මංකොල්ලාකරුවන්ගේ හස්තයට ලක් විය.

රසායනික බෝම්බ ප්‍රහාරයකින් තාවකාලිකව අන්ධභාවයට පත් වන ජෝආනා සිය සැමියා සමගකඳුකර ප්‍රදේශයක් හරහා  කොටළුවකු පිට නැගී  ඉරානයට පලා යාමත්,ලැබෙන්නට සිටි දරුවා ඇයට අහිමිවීමත් හද සසල කරවන සුළුය. ඔවුන් පැමිණි නගරය මේ අවස්ථාවේදී ඉරාන ජාතික අනාතයින්ගෙන් පිරි තිබුණ අතර , ඔවුනට නවාතැන් ගැනීමට සිදුවන්නේ ස්තාලයක සතුන් සමගය.මෙම ස්තාලය කොටළුවන්, එළදෙනුන් වැනි සතුන්ගෙන් සහ ඔවුන්ගේ දුර්ගන්ධයෙන් ද වැසි තිබුණ අතර මැක්කන්ගෙන් රෑ පුරා පිඩා විඳීමට ඇයට සිදුවිය.

ජාතින් අතර ගැටුම් නිසා පීඩනයට පත්වන මුස්ලිම් ජනතාව පිලිබඳ හද කම්පා කරන අපුරු කතන්දරයක් ජෝආනා නවකතාව තුළින් හෙළි කරයි.අධ්‍යාපනය ලබන තරුණ තරුණියන් ඉරාක අරාබින් අතින් හිංසනයට පත්වන ආකාරයත් අවසානයේ ඔවුන් මානසික රෝගීන් බවට පත්ව මිය යාමට පවා ලක් වන ආකාරය මෙහි විස්තර කරයි. කාන්තා ජිවිතයේ අධ්‍යාපනය ඇතුළු සෑම අවස්ථාවක්ම තීරණය කිරීම කෙරෙහි පුරුෂාධිපත්‍ය අසාධාරණ ලෙස බලපාන ආකාරය ඉස්ලාමික සමාජය පුරා පැතිර පවතී.ප්‍රංශ භාෂාව පිලිබඳ නිපුණතා සාමාර්ථයක් ලබන ජෝඅනාට ප්‍රංශ සංචාරයක් සඳහා ලැබෙන ශිෂ්‍යත්වයට සිය සහෝදරයා එරෙහි වීම මෙයට නිදසුනකි.

එංගලන්තය ,ඇමරිකාව , ඔස්ට්‍රේලියාව වැනි රටවලට සරණාගතයින් ලෙස ටික දෙනෙක් පලා ගියද ඉතිරි වන වැඩි කොටසකගේ යුද්ධ වලට මැදි වන ජිවිත වල අස්ථාවරත්වය හෙළි කරන කෘතියක් ලෙසජෝආනා  හැඳිනිය හැක.මෙම කතාව පාඨක මනසේ චිත්තරූප මැවීමට සමත්වන  අතර පොත කියවාගෙන යාමේදී ජෝආනා ෂෙල් ගෑස් වැදී අමාරුවෙන් හුස්ම ගන්නා ආකාරය චිත්‍රපටයක් සේ මගේ මනසේ ඇඳි ගියේය.තම ආදරණිය යන්ගෙන් වෙන් වීමට සිදු වුවත්, ඇස් අන්ධ වුවත් ජෝආනා දිවි බේරාගැනීමට අවශ්‍ය ආත්ම ශක්තිය ඇගේ සිතින් අත්හැර ගත්තේ නැත.

යුධ වාතාවරණය නිසා විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන සිසුන්ට ඇතිවන බාධක විස්තර කිරීම කෙරෙහි මෙම ලේඛිකාව විශේෂ අවධානයක් දක්වා ඇත.උසස් අධ්‍යාපනයෙන් පසුව කාන්තාවන් පවා විමුක්ති අරගල වලට සහබාගි වන ආකාරය යුද්ධයේ බියකරු බව මේ ඔස්සේ මනාව නිරුපණය කරයි.

මෙම කතාව ඔස්සේ ලොව වැඩියෙන්ම යුද්ධයෙන් විනාශ වූ කලාපයක කාන්තාවක් ලෙස ජෝආනා තම ජිවිතයේ සංකීර්ණත්වය ග්‍රහණය කර ගන්නා අතර මෙය අර්ධ ගවේෂණාත්මක වර්තාකරණයකින් සහ අර්ධ ස්ත්‍රීවාදී චරිතාපදානයකින් යුක්ත නවකතාවකි.මෙය ප්‍රවීණ පරිවර්තක කුමාර සිරිවර්ධන මහතා විසින් 2009 වසරේදී පරිවර්තනයට ලක් කරන ලද  අතර එම වසරේදී පැවැත්වූ රාජ්‍ය සම්මාන උළලේදී හොඳම පරිවර්තනයට හිමි සම්මානයෙන් පිදුම් ලබන ලදී.


No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........