Thursday, February 22, 2024

හදවතින් හැඬුවත් කඳුළු නොසැළු අනුවේදනීය ප්‍රේම වෘත්තාන්තය ..... දේවදාරු මාවත කළුවරයි.

 


වැඩි දුර අධ්‍යාපනය ලැබීම සඳහා රුසියාවට යන ශ්‍රී ලංකික තරුණියක සහ රුසියානු ජාතික තරුණයකු අතර ඇතිවන මිතුදමක් ගැන කියවෙන අනුවේදනීය කතාවක් " දේවදාරු මාවත දැන් කළුවරයි නව කතාවෙන් පාඨකයා හමුවේ එළිදැක්වේ. 

" .......නාට්‍යයේදී මා ඉදිරියේ දනින් වැටුණු වලොද්යා ඒ ජවනිකාව අවසානයේ තිරය පිටුපසට පැමිණියේ තවමත් නොපිපි රතු දම් පහැති , දිගු නටු ඇති රෝස පොහොට්ටු සහිත මල් කළඹක් දෝතින් ගෙනය.

ඔහු දණින් වැටි කීවේ මේ පොහොට්ටු කවදාවත් නොපිපේවි.ඒත් මේ  සුවඳ අමතක කරන්නෙපා....."

ඇය කාව්‍යා ... ඔහු වලොද්යා ... ලෝකයේ සතර දිගින් පැමිණි විවිධ ජාතික සිසු සිසුවියන් පිරිසකි ඔවුන්. ඔවුන් තුන්වන ලෝකයේ රට වලට අයත් වූ අතර ශිෂ්‍යත්ව ලැබ උස්බෙකිස්ථානු සමුහාණ්ඩුවේ අග නුවර වන ටෂ්කන්ට් ' හි රාජ්‍ය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන පීඨයේ ඉගෙනුම ලැබූ අයයි.

..... වලොද්යා කල්පනාකරයෙකි .විවිධ රට වලින් පැමිණි මිතුරු හවුලේ සිටි ශිෂ්‍යයින් අතරින් අප දෙදෙනා අතර සුවිශේෂී සම්බන්ධතාවයකි.අපි පෙම්වතුන් නොවීමු.හුදෙක් මිතුරන්ද නොවීමු.අප අතර ගොඩ නැගී පැවති එම සම්බන්ධතාවය කෙසේ නම් කල යුතුදැයි නොදනිමු.කාව්‍යා මෙසේ සිතන අතර දිනක් වලොද්යා කටු ගෑ කුරුටු කවියක් ඇයට ගෙනත් දෙයි.

" මා හදවත දොර පියන් වසා දමා බොහෝ කළකි.

එහෙත් හරි හැටි

අගුල් ලා නොමැති බව 

ඔබ පැමිණ 

මට කිවෙහි..."

මහත් සේ කලබලව යළි නොඇරෙන්නටම දොරගුළු ලුවෙමි.

එහෙත් 

ඔබ සිට ඇත්තේ හදවත ඇතුල් පැත්තේය..... "

මෙවැනි රසබර කවි 35 කට අධික ප්‍රමාණයක්  මෙම කෘතිය රසවිඳිමින් යන ගමනේදී අපිට හමුවේ.

රුසියාවට දැඩි ලෙස ආදරය කල කාව්‍යා තමා උගත් බොහෝ දේ ලැබුනේ රුසියාවෙන් බව කියයි.ලෙනින්ගේ ස්මාරක පවා ගලවා දමා උපන් ගමට ගෙන ගොස් ඔහු මිහිදන් කර දැමීම සෝවියට් දේශයේ සමාජ වාදී සංස්කෘතියේ පිරිහී යාමක් බැව්  ඇය දුක්බරව පවසයි. මෙම පෞරාණික සංස්කෘතිය තුලින් නව සංස්කෘතියක් බිහිවේ. මෙය ඔවුන්ගේ ආදරේ පෙර නිමිත්තක් යැයි සිතේ. 

සමහර තැන්වල යුද්ධය පිළිකෙව් කරන ඇය ඇෆ්ගනිස්ථානයෙන් පැමිණෙන සිසුන් යුද්ධය නිසා ඔවුන්ගේ දෙමව්පියන් ජිවත්ව සිටිනවද ? නැද්ද ? නොදැන සරසවිය තුළ සිටින බව පවසයි.

"..... දිගු කලක සිට නැහැනේ අම්මගෙන් ලියුමක් 

සටන් ඇවිලුනා වත් දෝ 

නැවත 

මා ගම් පියස...."


"......... නුඹේ අම්මා  - - මගේ අම්මාය 

අම්මා - ආදරය - සාමය .....

මොන තරම් නම් මිහිරිද 

සත්තකින්ම.....?

තවත් මස හතරකින්  විභාගය අවසන් කර කාව්‍යා ලංකාවට ආ යුතුය. ඇයට ඇති ලොකුම ගැටලුව ඇය එනතුරු අම්මා තාත්තා සහ එකම රෝයුරා මග බලා සිටීමයි.මෙම නව කතාව කියවන විට මට සිහි වුයේ ගුණදාස කපුගේ ගායකයාණන් සහ මලානි බුලත්සිංහල මහත්මිය ගායනා කරන....

.....  මං හින්දා ඔබෙ නෙතඟින් කඳුලක් හෙලන්නෙපා.. මං හින්දා ඔබෙ හද තුල සුසුමක් නැගෙන්නෙපා.. ගිවිසා ගනිමු අපි පෙම් යුවලක් සේ කිසිදා එක් නොවෙනා ...... ගීතයයි.

එහිදී තමා කෙසේ යන්නදැයි කාව්‍යා අසන විට වලොද්යා පවසන්නේ අනික් නිවාඩු කාලවල ලංකාවට ගියා වගේ සිතාගෙන යන්න.

අවසානයේදී ඔවුන්ගේ ප්‍රේමයට කුමක් සිදුවේද?

ප්‍රමාණයෙන් කුඩා පොතක් වුවද දේවදාරු මාවත දැන් කළුවරයි නව කතාව විශේෂයෙන් තරුණ තරුණියන් කියවිය යුතුම ඉවසීම ප්‍රගුණ කරන නව කතාවක් වන අතර තරුණ වැඩිහිටි කාටත් එක සේ රසවිඳිය හැකි කව්‍යමය පද වැලක්යයි කිව හැකිය.


නිලක්ෂි බණ්ඩාර.

21/02/24

No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........