Monday, June 10, 2019

ජමිලා නව කතාව චිංගිස් ආයිත්මාව් විසින් රචනා කරන ලද අපුර්වතම නව කතාවක් වන අතර එය එකල සෝවියට් රුසියානු ජන සමාජයේ පැවති සමාජ ක්‍රමය පිළිබඳව සිදු කරන ලද පුළුල් විවරණයකි.වැඩවසම් සහ ධනේශ්වර රදල පන්තියට එරෙහිව නැගී සිටින චරිතාංග වල ඇතුලත් වූ අධ්‍යාත්මික බලය පිලිබඳ කළ සමාජ විග්‍රහයක් ලෙස ජමිලා කතාව පෙන්නුම් කළ හැක. මෙම කතාව 1958 දී Nova j Mir  මාසික රුසියානු භාෂා සඟරාවේ කොටස් වශයෙන් පලවිය,ඊට සමකලිනවම කිර්ගිස්තානු භාෂාවෙන් " Melody "  යන තේමාව යටතේ 10 වැනි ප්‍රකශනය ලෙස මුද්‍රණයට පත්විය.පසුව මෙය 1959 දී රුසියානු සහ කිර්ගිස්තානු භාෂාවෙන් ජමිලා යන නමින් පොතක් ලෙස පලවිය.ජමිලා කතාව  ඔහුගේ කෘතිය වන අතර  1963 වසරේ දී   ලෙනින් ලෙනින් සම්මානයෙන් පිදුම් ලද්දේය.මෙය ලොව සුන්දරතම පෙම් කතාව ලෙසද විචාරකයින්ගේ මතයට ලක්වුණි.

ලුවිස් ආර්ගන් විසින් 1959දී ප්‍රංශ භාෂාවට පරිවර්තනය කරන ලද ජමිලා කෘතිය පුළුල් ලෙස අලෙවි වූ අතර 1961 වර්ෂයේදී කිර්ගිස් භාෂාවෙන් ඔපෙරාවක් ලෙසටද නිර්මාණය කරන ලදී.ජමිලා වනාහි යුගයක වෘතාන්ත්තයකි.මෙහිදී කතා නායකයා වන ජමිලාගේ  ස්වාමි පුරුෂයාගේ සොයුරා වන සෙයිට් ගේ ඇසින්   ජමිලා සහ අබාධිත සෙබළකු වූ දනියාර්ගේ අසම්මත ප්‍රේමය විනිවිද දකිනාකරයක් විග්‍රහ වේ.මෙම කතාව සෙයිට් තරුණ වියේදී අඳින ලද චිත්‍රයක ඇති දර්ශනය අතිතවලෝකනය කරන ආකාරයකින් පාඨකයා හමුවට ගෙන ඒ. සිය සොල්දාදු සැමියා යුධ බිමට ගිය පසු හුස්ම හිරකරවන තරම් වූ නීරස තනිකමකින් වේලෙන ජමිලා ගේ ලෝකය වර්ණවත් කරන්නේ දනියාර් විසිනි. යුද්ධය නිසා අබාධිත වූ සෙබළුන් , තනි වූ බිරියන් සහ දරුවන් සෙයිට්ගේ ගමේ පිහිටි ගොවිපලෙහි සේවය කල අතර, ජමිලා සහ දනියාර් ඇතුළු කණ්ඩායම ගොවිපලහි  සිට නෙලා ගත් ධාන්‍ය ගෝනි දුම්රිය පලට රැගෙන යාමට යොදා සිටියහ.

 දනියාර් යනු හුදකලාව ප්‍රිය කල නිහඬ ආඩම්බරකාර පුද්ගලයෙකි.එම ආඩම්බරකාර බවම ජමිලාගේ සිත ඔහු කෙරෙහි ඇඳ බැඳ තැබීමට සමත්විය.එයට එකල පැවති සමාජ ක්‍රමයද ඉවහල් විය.එලෙසින් දනියාර් ජමිලාගේ අධ්‍යාත්මය ස්පර්ශ කිරීමට සමත් වූ අතර තම සැමියාට පවා තෙරුන්ගත නොහැකි වූ ජමිලා වේගයෙන් දනියාර් වෙත ඇදී යයි.නමුදු මෙතැනදී ඇයව වරදකාරියක් නොකිරීම මෙම කතාවේ එන සුවිශේෂිත්වයයි.

ඒ බව පිටු 67 හි එන

" ගීතය බලාපොරොත්තු රහිතව නැවතුණි.ජමිලා හිටිහැටියේ දනියාර් වැළඳගෙන සිපගත් බැවිනි.ඈ වහාම ඔහුගෙන් ඈත් වී ගල් ගැසුණාක් මෙන් ගැලෙන් ඉවතට පැන්නාය.දනියාර් අස්ථාවර ලෙස තෝන් ලණුව අදිත්ම අශ්වයෝ නැවතුනහ.ජමිලා දනියාර්ට පිටුපා සිට ගත්තාය.පසුව සැනෙකින් ආපසු හැරුණු ඈ හිස ඔසවා ඔහු දෙස බැලුවාය. ඇගේ දෙනෙත් කඳුලෙන් පිරී තිබුණි." යන සඳහනෙනි.

"ගැහැණියකගේ වාසනාව ළමයින් හදා වඩා ගැනීමත්, ගෙදර දොර අරපිරිමැස්මෙන් කටයුතු කිරීමත්, යැයි මහලු නැන්දම්මා ජමිලාට උගන්වන්නිය. යුද්දයට ගිය ජමිලාගේ සැමියා එවන ලියුම් වල ඇගේ නම සඳහන් වන්නේ ඕනවට එපාවට මෙනි." ( පිටුව )


සැමියාගේ සහ බිරිඳගේ දුරස්ථ බවක් තිබු බව මෙයින් ලේඛකයා හෙළි කරයි.මේ හේතුව ජමිලා අසම්මත ප්‍රේමයක පැටලීමට හේතු පාඨය වේ.

සෙයිට් සහ ජමිලා ධෛර්ය සම්පන්න තාරුණ්‍යයෙන් යුක්ත වු අතර විස්තීරණ පවුලක සාමාජිකයෝ වූහ.ඔවුන් බොහෝ විනෝදයෙන් කල් ගත කරයි.සෙයිට් සහ ජමිලා දනියර් රැවටීමට ක්‍රීඩාවක් කරයි.එක්දිනක මෙය දුරදිග යන අතර දුම්රිය පලෙන් පිටවී යාමට පෙර දනියාර්ගේ කරත්තයේ රාත්තල් 280ක අධිබරැති  ධාන්‍ය පාර්සලයක් තබති.මෙය එසවීමට ගොස් දනියාර් පිඩාවට පත්වේ.. නමුදු ඔවුන්ව පුදුමයට පත් කරමින් ඔවුන් දුම්රියපළට පැමිණෙන විට දනියාර් විසින් ඉතාමත් අමාරුවෙන් එම ධාන්‍ය ගෝනිය ගෙනවිත් තබන බව දකියි.මෙහිදී දනියාර්ගේ නිර්භීත බව මනාව පිළිඹිබු කරනු ලබයි.


 ගොවිපලේ කණ්ඩායම් නායකයා විසින් සම්මතයට පටහැනිව අශ්වයෙක් දක්වන ලෙසට ජමිලාටද අණ කරයි.මුලදී සෙයිට්ගේ මව මෙයට විරුද්ධ වුවත් , පසුව කැමති විය.

"ජමිලාගේ අළුත් රැකියාව කෙලවර වන්නේ කොතැනින්ද යන්න එදා මව හෝ මව නොදැන සිටියෙමි." 19 පිටුව.
ජමිලා කුඩා කල සිටම සිය පියාගේ අසුන් පැන්නිමෙහි යෙදී සිටියේ කුමක් නිසාදැයි කීම අපහසු බවත් ,එයට හේතුව පවුලේ එකම දරුවා ඇය වීම නිසාත් විය හැකියැයි සෙයිට් පවසයි.ඇය අසල්වැසි ගැහැණුන් සමග සාමයෙන් කටයුතු කිරීමටත් , අසාධාරණ ලෙස ඇයට සලකන විට දබර කර ගැනීමටත් පසුබට නොවුවාය.
ජමිලාගේ මෙම ගතිගුණ ඇගේ නැන්දණිය පවසන්නේ මෙසේය.

"උඹලගේ නිහඬ ගැහැණු ඇත්ත වශයෙන්ම පිට අය රවටනවා.බොරු ශාන්ත බවක් පෙන්නනවා.හරියට කුණු බිත්තරය වගෙයි.එලියට සුදු පාටයි.සිනිදුයි.ඇතුලේ ගඳ උහුලන්න බැහැ."
සාධික් විසින් ගම්මානයේ සම්ප්‍රධාය පෙන්නුම් කරන සලකුණක් ලෙස මෙහිදී කතුවරයා ගෙන ඇත.සාධික් විසින් ජමිලා ඔහුගේ බිරිඳ ලෙස නොව ඔහුට අයත් වූ වස්තුවක් ලෙසින් මෙම කතාව තුළ හොබවා ඇත.

මෙහිදී ලේඛකයා ජමිලාගේ චරිතය උපමා රූපක මගින් නිරුපණය කරයි.සමාජ තත්වය විමසීමේදී මෙහිදී ජමිලා සම්ප්‍රධායික කිර්ගිස් කුටුම්භයේ පරිවර්තනය පෙන්නුම් කරයි.ජමිලාගේ හැසිරීම අනික් කිර්ගිස් තරුණියන්ගේ හැසිරීමට වඩා වෙනස් බව රචකයා පෙන්වයි.සමහර අවස්ථා වලදී දඟකාර කොල්ලකු මෙන් දුවපනිමින් හැසිරුණු ජමිලා වැඩිහිටියන් ඉදිරියේ පවා හඬ නගා ගීත ගායනා කලාය.සෙට්ස් සමගින් ඔට්ටු සෙල්ලම් කලාය.ඇය සිහින් බොකුටු හිසකෙස් සහිත සිහින් රූමත් තරුණියක් වුවාය.

" විශේෂයෙන් ම යුධ පෙරමුණේ සිට පැමිණි සෙබළු ජමිලා දෙස මහත් ඕනෑකමින් බැලුහ.ඇයද ඔවුන් සමග විහිලු කලද ,සීමාව ඉක්මවා යන අයට දඬුවම් කළාය."

ඇය අසල තරුණයින් සිටින විට සෙයිට් බාධා කළේය.
" ජමිලා මගේ අයියාගේ බිරිඳ බව මතක තියා ගනිල්ලා." 22 පිටුව
පිරිමින් යුධ පෙරමුණට යාම නිසා අයිලයේ පිරිමින් ටික දෙනෙකු පමණක් ඉතුරු වුන අතර ඔවුන් කාන්තාවන් පහත් කොට සැළකු ආකාරය රචකයා පවසන්නේ

" ඉඟියක් කල විගස ඕනෑම ගැහැණියක් ඔවුන් සමග එනු ඇතැයි පවසමිනි ." වර්තමානයේ මෙන්ම අතීතයේදීත් යුද්ධය නිසා කාන්තාව බොහෝ පිඩනයට ලක් විය.ඔවුන්ගේ දුර නෑයකු වන ඔස්මොන් ජමිලා පසුපස යාමද තවත් මෙවන් සිද්ධියකි.යුද්ධයේ බියකරු බව මෙන්ම මිනිසුන් හුදකලා තත්වයට පත්කරන ආකාරය ගැන ජමිලා මෙසේ පවසන්නීය.

ඇය බැස යන හිරු දෙස ඕනෑකමින් බලා හිඳ ,සුසුම් හෙලා මෙසේ කීවාය.

"මිනිස් සිතක් ක්‍රියාකරන හැටි ඔස්මොන් සහ මිනිසුන් දන්නේ කොහොමද? කිසිවෙක් ඒ ගැන දන්නේ නැහැ.ඒ ගැන දන්නා මිනිසෙක් මෙලොව නැතුවා වෙන්න පුළුවනි ". (පිටුව 24)

අයිලයේ පැවති ගතානුගතික සිරිත් විරිත් ලේඛකයා විස්තර කරයි.යුධ පෙරමුණේ සිටි ජමිලාගේ සැමියා සධික් පියාගේ නමට ලිපි එවයි.පළමුවෙන්ම ඔහු වයස්  අනුව වැඩිහිටියන්ගේ සුවදුක් අසන අතර අවසානයේදී ජමිලාගේ සුවදුක් අසයි. දෙමාපියන් සහ පවුලේ වැඩිහිටියන් අයිලයේ අසල ජිවත්වන විට බිරිඳට ලියුම් ලිවිම අශෝභන ක්‍රියාවක් ලෙස ඔවුහු සැලකුහ. රැඩිකල් තරුණියක වූ ජමිලාගේ සිතුවිලි දරදඬු කොට අසම්මත ප්‍රේමයක් දක්වා දුර යාමට මෙම ගතානුගතික සමාජීය සිරිත් විරිත්ද හේතු වන්නට ඇත.

යුධ බිමේ සිට සධික් එවන ලියුම් බෑගයක දමා අම්මා ප්‍රවේසම් කරන අතර , වෙව්ලන කටහඬින් මෙසේ පවසයි.
"අනේ මගේ දයාබර පුතුනේ ,නුඹලාගේ ලියුම් අපි ආරක්ෂා කර ගන්නවා.එක වචනයක් පමණක් ලියා එවපල්ලා ! ජීවත්ව ඉන්නවා කියා ලියාපල්ලා."
යුධ බිමේ සිටින පුතුන් ගැන මෙම කිර්ගිස්තානු ජාතික මව දුක් වන ආකාරය ,අපට මෙන්ම විශ්ව සාධාරණිය සත්‍යයකි.එය කුරිරු යුද්ධයේ ප්‍රතිපලයකි.

ජමිලා සංගීතය බොහෝ සෙයින් ප්‍රිය කල කාන්තාවක් විය.මෙය ගම්මානයේ සිටි මුස්ලිම් කතුන් බොහෝ සෙයින් විවේචනයට ලක් කල අතර සෙයිට් සහ දනියාර් උදෙසා සුන්දර ගීත ජමිලා විසින් ගායනා කරන ලදී.කතාව සුන්දරව ගලාගෙන යද්දී දනියාර්ගේ ගීතයෙන් මත් වන සෙයිට් දනියාර්ව වර්ණනා කරන්නේ මෙලෙසිනි.

"ඔහු කිසිවකට හද පත්ලෙන් ආලය කර ඇත.එය සප්‍රණික පුද්ගලයෙකුට ආලය කිරීමක් නොව ,පොදුවේ ජිවිතයට හා මවුබිමට ආලය කිරීමක්.ඔහු එම ආලය සඟවාගෙන ,එමෙන්ම තම ගීත වලට ආදරය කරමින් එයින් ජිවන ශක්තිය ලබා ගත්තේය.කොතරම් හොඳ කටහඬක් තිබුනද , උදසිනත්වයෙන් පෙළෙන්නෙකුට එලෙස ගායනා කළ නොහැක."

මෙම ගීත ගායනය මගින් කථිකයා තුළ ඇතිවන බලපෑම මනාව පෙන්නුම් කරන අතර ප්‍රධාන චරිතයන්ගේ සිත් තුල සමාන්තරව ගලායන හැඟීම් වල  ඇතුලාන්තය පෙන්නුම් කරයි. ඒ බව

"ඔහුගේ ගීතය දුක්මුසු රාගයකින් පිරි තිබීම මගේ පුදුමයට හේතු විය.ඔහුගේ එම හැඟීම හැඳින්විය යුත්තේ කෙසේද යන්න මම එදා නොදැන සිටියෙමි.එය කෙසේ විග්‍රහ කළ යුතුද යන්න මම දැනුදු නොදනිමි.මිනිසාගේ අතිශයින්ම අභ්‍යන්තර හැඟීම් ඇවිස්සෙන,කැළඹීම් තවත් මිනිසෙකුට කාවද්දන බලයක් තිබුනේ ඔහුගේ කට හඬේහිද නැතිනම් අධ්‍යාත්මයේ හිද යන්න කිව නොහැක " (පිටු 55)

ස්ටෙප්ස් තෘණ භුමියේ හුදකලා බව ජමිලා සහ දනියර්ගේ ආදර කතාවට සොඳුරු තෝතැන්නක් සදා දෙන අතර ,මෙම පසුතලය ඔවුන්ගේ ප්‍රේමයට විශ්ව සාධාරණීකරණයක් මතුකර දක්වයි. මෙම කතාවේ තේමාව වන්නේ කාන්තා නිදහසයි.

අධ්‍යාත්මික සැනසීමක් ලැබිය නොහැකි ලෝකයක හුදකලාභාවයෙන් පිරුණු චරිත සමාජ සංස්ථාව මත අතරමන් වන ආකාරය ඉතාමත් අපුර්ව අයුරින් රචකයා පාඨක මනසට ජමිලා තුලින් ලංකරන ආකාරය විශිෂ්ට වේ.ජමිලා කෘතිය තුලින් මානව සමාජයට ඥානමය සහ භාවමය සාධකයන් ඔස්සේ ලබා දෙන දායකත්වය මැනවින් විස්තර කර තිබේ.මේ වෘතාන්තය කියවන පාඨකයාගේද මනස සමාජගත සවිඥයෙන් පරිපුර්ණ වීම මේ කතාව ඔස්සේ දැනෙන සුවිශේෂී ලක්ෂණයයි.මෙය රටක උන්නතිය සඳහාද දායකත්වයක් සපයන බව නොරහසකි.




No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........