Monday, June 17, 2019

ප්‍රකම්පනය- මනොරි ලියනවඩුගේ



ප්‍රකම්පණය  යනු කිවිඳියක සේම රචිකාවියක ලෙසින්  මුහුණු පොතේ ක්‍රියාකාරී සාමාජිකාවක් වන  මනෝරි ලියනවඩුගේ මහත්මිය විසින් නිර්මණය කරන  ලද අපුරුතම නව කතාවකි.මෙය නව කතාවක් ලෙසද, මනෝවිද්‍යාත්මක කරුණු ඇතුලත් පර්යේෂණ කෘතියක් ලෙසද හැඳින්විය හැකිය.මෙම නිර්මාණය  රසවිඳින පාඨකයා කියවීමෙන් ඔබ්බට ගොස් නිරීක්ෂණ යකට ලක් කිරීමට සමත්  ප්‍රේමය, වෛරය සහ කුතුහලය දනවමින් ගලාගෙන යන ජිවන  වෘත්තාන්තයක් යයි කිවහොත් නිවැරදිය. මෙහිදී භාවිත කරන ලේඛන ශෛලිය රසවිඳින්නාගෙ සිත පොතින් මොහොතකට වත් අහකට නොගෙන කියවාගෙන යාමට තරම් පොතට ඇඳ බැඳ ගන්නා සුළු රසවත් ශෛලියකි. එමෙන්ම මෙහි ඇති පුරුෂ චරිතය කුතුහලය , භීතිය සන්ත්‍රාසය දනවන මුසුවූ විශේෂයෙන් ම කාන්තාවක් තුල විවහා ජිවිතයේ ත්‍රස්ත්‍රජනක අත්දැකීමක් ඇති කරන්නකි.

උපමා රූපක ,පරිකල්පන , ව්‍යන්ගර්තය වැනි නව කතාවක ගැබ් විය යුතු සාහිත්‍යාංග සුළු වශයෙන් ගැබ් වී ඇතත් ,මෙම නව කතාව ඉහත සඳහන් කරුණු නිසා පාඨක සිත ඇඳ බැඳ ගැනීමට සමත්ව ඇත.මනෝරි මහත්මියගේ මෙම ග්‍රන්ථය  පිලිබඳ දුටු විවේචන අතර එක් සිත් ඇඳ බැඳ ගන්නා සුළු විවේචනයක් දුටුවෙමි. විවේචනය කල මහත්මිය පවසා ඇත්තේ " මේ පොත කියවන මට බියක් දැනුණේ ... මේ යකා ඇඳ යට සිටීදැයි කියාය." මෙම වදන් වලින් විශේෂයෙන්ම තරුණ කාන්තාවක් තුළ  සැමියා පිලිබඳ  ඇතිවූ ත්‍රාසය පිළිඹිබු කරවයි.

ආදරණිය පවුලක , ආදරය සෙනෙහස ලබමින් ඉතා සතුටින් සැහැල්ලුවෙන් ජිවත් වන පබා හෙවත් පබසරා තම ප්‍රථම ප්‍රේමය වැළඳ ගන්නේ තම ජිවිතයම අඳුරු අගාධයකට පෙරලේ යැයි නොසිතමිනි.අවුරුදු 19 දී ඇය විවහා ජිවිතයට ඇතුලත් වන්නේ තමන්ට වඩා වසර ගණනාවක් වැඩිමහල් තම පෙම්වතා පිලිබඳ පුර්ණ විශ්වාසය තබමිනි.ස්වාමියා මිය ගිය පසු තම දරුවන් 5 දෙනාව තම ඇස් දෙක සේ රැක බලාගනිමින් තනිවම ජිවත් වන පබසරාගේ අම්මා තම දියණියගේ තීරණයට එකඟ වන්නේ ඇගෙ සතුට තමන්ට හැමදෙයටම වඩා වටිනා නිසාවෙනි.

මෙය කුටුම්භයක තනිවන සමාජයේ අත්දැකීම් අඩුවෙන් අත්විඳි තරුණියක හා පවුල් සංස්ථාවේ ඇතිවන ඝට්ටනයන් පිලිබඳ වූ සමාජ විග්‍රහයක් ලෙසත් හැඳින්විය හැකිය.මෙහිදී  ස්වාමි පුරුෂයා තරුණියට වඩා වසර ගණනාවකින් වැඩිමහල් වීමද , ඇයට අවබෝධ කර ගැනීමට බාධකයක් සේ දැකිය හැකිය.එමෙන්ම කාන්තා සහ ගෘහස්ත හිංසනය පිළිබඳව ඉතාමත් සුක්ෂමව පාඨක හදවතට පබසරා පිලිබඳ අනුකම්පාවක් ජනිත කරවමින් විග්‍රහා කර  තිබීම මෙහි සුවිශේෂී ලක්ෂණයකි.මෙවැනි පවුල් සංස්ථාවේ ඇතිවන ගැටුම් සඳහා වැඩිහිටියන් ද වගකිව යුතු බව ලේඛිකාව පවසන්නීය.

.වර්තමාන සමාජයේ ගෘහස්ත හිංසනය ලක්වන පබසරා වැනි තරුණියන් කොතෙකුත් ඇත්ද ? නමුත් ලෝකයට  තම කඳුළු සඟවමින් මේ සෑම දුකක්ම දරා ගනිමින් ජිවත් වීමට වෙර දරන සමාජයෙන් හුදකලා වූ  ළඳුන්ට මීට වඩා සාධාරණයක් සමාජයෙන් මෙන්ම නීතියෙන් ද , ඉෂ්ට විය යුතු බව මනාව පෙන්නුම් කරන "ප්‍රකම්පණය" සත්‍ය වශයෙන්ම මනෝවිද්‍යාත්මක සමාජ විග්‍රහාත්මක කෘතියක් සේ අගය කළ හැකිය.

ගැහැණිය සහ පිරිමියා යන විරුද්ධ ලිංගිකයන් තම සිතේ ඇතිවන්නා වූ ආකර්ෂණය හේතු කොටගෙන කුටුම්භයක් ලෙසින් එකට ජිවත් වීමට පටන් ගත්තත් ඔවුනොවුන්ගේ සිත්හි ඝට්ටනය වන විවිධ ආකල්පයන්, විවිධ විෂමතාවයන් සහ එකිනෙකාට තෙරුම්  නොයන නොගැලපීම් හේතුවෙන් කාන්තා හිංසනය, පවුල් ප්‍රචණ්ඩත්වය දක්වා කුඩා ගැටළු වර්ධනය වීම බොහෝ පවුල් සංස්ථාවල දක්නට ලැබෙන කනගාටුදායක කරුණකි.

පබසරාගේ සැමියා වූ ප්‍රියංජන විසින් තමා කුඩා කල පියා විසින් මවට කරන ලද පහරදීම් දැක සිතෙහි ඇති කරගත්තා වූ බිය, පසුකාලීනව විෂාදය සහ මානසික අවපිඩනයක් දක්වා වර්ධනය වී, ඉන්  එහා බැඳුනු හීනමානය මොහුගේ යටි සිතේ තැන්පත්වීම හේතු කොටගෙන මෙම අසාමාන්‍ය තත්වයට පත්වී ඇත.විෂාදය වැනි මානසික රෝග  ඖෂධ මගින් තරමක් දුරට පාලනය කිරීමට හැකියාව තිබුනත් මෙය ඔහුට ජානමය සහ සමාජීය බලපෑමක් ලෙස බලපෑම් සිදු කරන නිසා එහි අනිටු ප්‍රතිපල අත්විඳින්නට සිදුවන්නේ පබා වැනි අවිහිංසක තරුණියන්ටය.

මෙම විවාහය සිදු කිරීමේදී  ප්‍රියංජන ගේ දෙමවුපියෝ මේ සියල්ල පබාගෙන් සහ ඇයගේ පවුලේ අයගෙන් සඟවා තබා ගැනීම ඔවුන් කල විශාල වරදකි.ඔවුන්ගේ දියණියක් මෙවැනි තත්වයකට පත්වුවහොත් ඔවුන් සිතන්නේ කුමක්ද?ඔවුන් ගන්නා පියවර කුමක්ද ?

ප්‍රියංජනගේ දෙමව්පියෝ  විසින් සුදු පැලැස්තර අලවමින් ඔවුන්ගේ පවුල් ජීවිතය දිගටම ගෙන යන ලෙස උපදෙස් දීමට යොමුවෙති.එය කොතරම් අසාධාරණද ?අවසානයේදී පබා ගන්නා තීරණය කුමක්ද?ඇය විවහා ජිවිතයට සමු දෙනවාද ? 

ප්‍රකම්පණ  නව කතාව විවහා දිවියට පිවිසීමට අපේක්ෂා කරන තරුණියන් සහ දියණිවරුන් සඳහා බෑණා වරුන් සොයන දෙමවුපියන් විසින් කියවිය යුතුම අපුර්වතම කතාවකි.ආදරය කර , කලක් ගත කර අවබෝධයෙන් යුතුව විවාහපත් වන තරුණ ජෝඩුවලට පවා වෙන් වීමට සිදුවන අවස්ථා ඇත.මෙම නිර්මාණයෙන් මනෝරි මහත්මිය තරුණියන්ට කදිම උපදෙසක් දෙයි.

"කිසිවිටක කෙනෙකුගේ බාහිර පෙනුමින් හෝ හැසිරීමෙන් නිගමනයකට නොපැමිනෙන්න.නොරැවටෙන්න.ඔවුන් පිලිබඳ පැතිරෙන කට කතා විශ්වාස නොකරන්න.නමුත් සොයා බලන්න."

"හැකි තරම් ඔබගේ යැපීම් මාර්ගය ඔබම සලසා ගන්න" (පිටුව 299,300)








No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........