ස්වර යනු හදවතේ කම්පනය සනිටුහන් කරන එක් මාර්ගයකි.කවිය ගීතය නවකතාව,කෙටි කතාව යනු අපේ ජිවිතයේ තවත් ප්‍රතිබිම්භයකි. ගීතයක්, කවියක් ඇසෙන විට, කෙටි කතාවක් කියවන විට අපට..... මේ ජිවිතයේ අත්දැකීමක්ද යන්න සිතට නැගේ. මෙම නිර්මාණ වලට පාදක වුනේ අපේ හද ගැස්ම...... හදවතේ කම්පනය..... ජීවිතය මොහොතකට නැවතුන තැන අකුරු වලට පෙරළීමයි.
මෙම නිර්මාණ තුල ජිවිතේ ගැඹුර. දර්ශනය සහ යථාර්තය ගැබ්ව තිබේ.
..... මගේ ගී - මගේ නොවේ .. නුඹගේ ... යයි ඔහු පවසන්නේ එබැවිනි.
ගීපද රචකයකු මෙන්ම කවියකු වූ අතුල ජයදේව කලාකරුවාණන් රචනා කල ගේය පද කාව්‍ය සංග්‍රහය කියවන විට මෙම සිතුවිල්ල රසික හදවත් තුල නිතැතින්ම ජනිත වේ.
දෙමව්පියෝ තම දරුවන්ට අසීමිතව ආදරය කරති.මවක් තම දියණියගෙන් අසන ප්‍රශ්නාවලියක් ලෙස රචනා කර ඇති " දුවේ නුඹ දන්නවද ".... ගීතයෙන් මව දියණිය කෙරෙහි තබා ඇති විශ්වාසය "නුඹෙන් නරකක් දුවේ අපට නම් නැහැ වෙන්නේ..." යනුවෙන් අවසානයේදී අසයි, නමුත්... මුල් පද පේලි වලින් ඇය ප්‍රේමයක පැටලී ඇත්දැයි යන සැකය මව තුල පවතී.
"නුඹේ ඇස් දුවනවා දඟකාර ඇස් දිගේ ..."
ඇගේ සිත පොත් තුළ රඳාවිද යොවුන් දෙනෙතක් වෙත ඇදෙවිද ? මෙම ගී පද තරුණ වියේදී දැරියක් මුහුණ පාන ප්‍රධාන ගැටළුවක් වන , අධ්‍යාපනය සහ ප්‍රේමය යන කරුණු දෙක අතර දෝලනය වන වත්මන් තරුණ පරපුරේ ප්‍රශ්නයක් විවේචනයට ලක් කරයි. විශාරද ශෂිකා නිසංසලා ගායිකාවගේ හඬ මෙම ගීතයේ අදහස තව තව තීව්‍ර කරයි.
ආදරය, විශ්වාසය, විවාහය මගින් ජීවිතය අරුත්බර කරන ආකාරය පිළිබඳව අලංකාර පද පේලි කිහිපයකින් පවසන තවත් ගිතයකි
" මල කොතැන පිපුණම මොකද ...."
ගඟ කොතැන ගැලුවම මොකද ....... යන ගීත නිර්මාණය.
මල කොතැන පිපුණත් ..., ගඟ කොතැන ගැලුවත් , ඒ මල ළඟ, ඒ ගඟ ළඟ , ඒ සඳ ළඟ මම සිටිමි. සංගීතවේදී සුරේෂ් මාලියැද්ද මහතා කන්කළු ලෙස සංගීතවත් කර ඇති මෙම ගීතය සුදු වර්ණය සහ එලිය , අඳුර මනා සංයමයකින් යුතුව සංයෝජනය කළ රූප රාමුවකින්ද අලංකාර කර ඇත.
කොතැනක සිටියත් ඔවුන්ගේ ආදරය නොවෙනස්ව පවතී.
මෙය සරල සුගම වචන වලින් නිර්මිත , ඉතාමත් අලංකාර පද රචනයකි .,
ගී සංකල්පනා ගී තැටිය එලිය කරන තවත් මනරම් ගිතයකි විශාරද මේඛලා ගමගේ ශිල්පිණිය ගයනා කරන
" රැළි ඇවිත් වැව් දියට වැවේ සැඟවී ගියා..... "
නුඹ ඇවිත් මගේ කුසට මටත් නොකියම ගියා.....
මව් සෙනෙහස උතුරා යන මෙම ගීතයෙන් කුස තුල සිටින දරුවා කෙරෙහි අනුපමේය සෙනෙහසක් ඇති මවක් දරුවා අකාලයේ අහිමි වූ විට විඳින වේදනාව ගී පද වලට නගා ඇත.
උපදින්නට සිටින දරුවාගේ අනාගතය වෙනුවෙන් ඇය කල වැඩ ප්‍රමාණයද වැඩි විය. සමහර විට එයද දරුවාගේ අකල් වියෝවට බලපාන්නට ඇත.මෙම ගීතය නිතැතින්ම ශ්‍රාවකයාගේ ඇසට කඳුලක් නංවයි.
දිවා රෑ වැළපෙන ඇයට සිහිනයක් මෙන් දරුවා පෙනේ.ඇයට තනි රකින්නේ, ඇය සමග අඬන්නේ අඳුරු අහසේ පෑයූ තරු කැටයි.සොබාදහමද ඇය සමග දුක් වේ.
අමරසිරි පිරිස් , සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි ,ජගත් වික්‍රමසිංහ , ජනක වික්‍රමසිංහ , චන්දන ලියනාරච්චි ,සුමිත් මන්දනායක වැනි ප්‍රවීණ ගායක ,ගායිකාවන් ගේ මියුරු හඬ මුසු කල තවත් ගීත කීපයක්ද , අරුත්බර පැදි පෙළවල් රැසකින්ද සමන්විත මෙම නිර්මාණ සමුච්ජය ජයදේවයන්ගේ පරිකල්පනය , සමාජ දැක්ම , සමාජීය අවබෝධය , ජිවන අත්දැකීම් , කදිමට පෙළ ගස්වා නිර්මාණය කළ ස්වර වැස්සට තෙමි ගේය කාව්‍ය සංග්‍රහය රස විඳිය යුතු අපුර්වතම කෘතියකි . මල කොතැන පිපුණත් ඒ සුවඳ අපේ හදවතට ලංකල රසවත් ගී නිර්මාණ එකතුවකි.
ජයදේවයාණනි ....
ඔබගේ ගී පද වැල් රසික හදවත් තුල අතීතය , වත්මන සහ අනාගතය එක් කරන ගීත ගොවින්දයක් දැයි මට සිතේ.
නිලක්ෂි බණ්ඩාර
30/08/2023
No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........