Thursday, July 4, 2019

සත් වෙනි සඳේ රෑ - අශ්විනි කාරියවසම් -

සත් වෙනි සඳේ රෑ - අශ්විනි කාරියවසම් -
Image result for සත්වෙනි සඳේ රෑOn The Night Of The Seventh  Moon - Victoria Halt

ආදරය යනු උත්තරීතර බන්ධනයකි.. ජිවිතයට සැනසීමක් ගෙන දෙන ඖෂධයකි.මැක්ස්මිලියන් සහ හෙලෙනාගේ සියලු දේශ සිමා බන්ධන පැමිණියත් බාධක කම්කටොලු පැමිණියත් එම සෑම බාධකයක්ම ජයගෙන තම ජීවිතය ගොඩ නංවා ගත් ඓතිහාසික ප්‍රේම වෘතාන්තය සත්වෙනි සඳේ රෑ ඔස්සේ පාඨකයා වෙත ලං කිරීමට වික්ටෝරියා හෝල්ට් ගත් වෑයම අනර්ඝනිය වේ.මෙම වෘතාන්ත්තය අශ්විනි කාරියවසම් විසින් සිංහලයට පරිවර්තනය කරන ලදී.

මෙම කතාව ගලාගෙන යන විට කතුවරිය විසින් රසවිඳින පාඨකයාගේ හැඟුමන් සසල කරවමින් රචනා කර තිබීමත් සිතට කාවදින අයුරින් කතාව ඉදිරිපත් කිරීමත්  සුවිශේෂී ලක්ෂණය වේ.කතාව කියවාගෙන යද්දී ආසියානු පරිසරයක ජිවත් වන අපට නුපුරුදු පරිසරයක් වුනත් එම සුන්දර පරිසරය පුරා ගලාගෙන යන සෞන්ද්‍රයත්මක භාවය චිත්තරූප මවමින් මුළු පොත පුරාම ගලාගෙන යන ආකාරය දක්නට ලැබෙන ලක්ෂණයි.

මෙය වික්ටෝරියානු යුගයේ කතාවක් වන අතර සෑම තැනකදීම වික්ටෝරියානු කතා ශෛලිය එම සම්ප්‍රධායික අංගයන් දැකිය හැක. මෙම කතාව ඔස්සේ රාජ්‍යයන්හි රජවරුන් සහ උප ප්‍රන්තයන්හි නායකයින් අතර ඔටුන්න උදෙසා ඇති වන්නාවූ ඝට්ටනයන් විස්තරාත්මකව පිළිඹිබු කරන අතර එයට මැදිවන මැක්සිමිලියන් ගේ සහ හෙලෙනාගේ ආදරය සොඳුරු ව කතාවට උපයුක්ත කර ඇත.

ජර්මනියේ ඩෑමෙන්ස්ටිෆ්ට් කන්‍යාරාමය වටා පැතිරී ඇති අඳුරු කේතුධර වනාන්තරය පිළිබඳව කතුවරිය ඉදිරිපත් කරන්නේ සුරංගනා ලොවකට අපව මනසින් ගෙන යමිනි. කාල වනාන්තරය නම් වූ එය ජර්මනියේ පිහිටි කඳු වැටිවලින් සමන්විත වූ සිසිලස දෙන වන ලැහැබ් වලින් ගහණ වූ පරිසරයකි.හෙලන්ගේ මව මෙම ප්‍රදේශයේ උපත ලද කාන්තාවක් වන අතර ඇය හෙලන් කුඩා කලදී මෙම ප්‍රදේශයේ පිහිටි මන්දිර , එම මන්දිර වල පිහිටි නයිට්වරුනේ ශාලාවන්, එම ශාලාවන් වල පවතී සොඳුරු ප්‍රියසදයන් පිළිබඳව මනසට එබ්බුවේය. එලෙසම ප්‍රකට සංගීතඥයෙකු වූ ෆ්රාන්ස් ෂුබර්ට් පිළිබඳව කතා කලාය .ඔහු මිනිස් සිතෙහි ඇතිවන ගැඹුරු සිතුවිලි හැඟීම් සොබාදහම හා සම්බන්ධ කරමින් සොබාධර්මයේ සුන්දරත්වය විහිදුවා දැක්වීමකින් තම සංගීත නිර්මාණයන් ලොවට එලි දැක්වූවෙකි.

එලෙසින්ම කුඩා කඳුකර වල ජිවත් වන සුරංගනාවන්, කුරුමිට්ටන් හා බැඳුනු ඉපැරණි පුරාවෘත්තයන් හෙලෙනාගී ජිවිතයට සමීප කලේ ඇයගේ  මව විසිනි.පසුකාලීනව දෙමව්පියන්ගේ අවසරයත් සමගින් ඇය මෙම පයින් වනාන්තරය මැද [ඉහිටි ඩෑමෙන්ස්ෆිට් කන්‍යාරාමයට උසස් අධ්‍යාපනය ලැබීම උදෙසා ඇතුලත් වුනේ තම ජිවිතයේ වෙනස්ම පිටුවක් පෙරලීමට ගත් පියවරක් ලෙසිනි.

එකල එම රාජ්‍යයෙහි සත්වෙනි සඳේ රෑ නමින් චාරිත්‍රයක් උත්සවාකාරයෙන් පවත්වනු ලබන අතර එය ලෝකි නම් දඟකාර භාවයේ දෙවියන් සැමරීම උදෙසා පවත්වනු ලබන්නකි. එය දේශීය උත්සව වලින් එකක් වන අතර ඉල්ස් සමගින් එම උත්සවය නැරඹීමට යන ඇයට වරක් තමාට හමුවූ සිග්ෆ්‍රිඩ් නැවතත් ලෝකෙන්බර්ගයෙහි සිටුවරයා වූ මැක්සිමිලන්  ලෙස හමුවේ.පසුව ඔහු හා ඇතිවන ඉක්මන් විවාහයෙන් පසු ඇතිවන සංසිද්ධීන්, ඇය අනුමාන කරන පරිදි  ඇයගේ මිය යන දරුවා පිළිබඳව ඇතිවන අඳුරු මනසින් යුතුව ඇය නැවතත් එංගලන්තයට ගියත්, දෛවයේ හාස්කමකින් මෙන් නැවතත් ජර්මනියට යන ඇයගේ ඉදිරිය කුමකින් කුමක් වේද යන්න කියවන ඔබට බාරය.

මෙම කතාව විවිධ චරිතයන්ගෙන් පිරුණු එම චරිත වල ඇතිවන විවිධ සංසිද්ධීන් තුලදී ඔවුන් විසින් දක්වන ලද සියුම් ප්‍රතිචාරයන්ගේ විවිධ බව සාර්ථක නව කතාවක් බව ට ඇති මනා උදාහරණය වේ.එම චරිතයන් පොත කියවා අවසන්වූ පසුත් අපේ මනසට බැඳෙමින් මෙලොව මෙම ආත්මයන් සැරිසරන බව අපගේ සිතට දනවයි.ආදරය විරහව කුතුහලය,භයංකරත්වය සිතට දනවමින් ගලාගෙන යන අපුර්වතම කෘතියක් ලෙස හැඳින්විය හැක.



No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........